ඉකුත් අගෝස්තු 9 වැනිදා පවත්වන ලද 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 02 වැනිදා නිකුත් කෙරුණු අතර, මෙවර කඩඉම් ලකුණ වූ 139 ඉක්මවා යාමට සිසුන් 56,000ක් සමත්ව සිටිති. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්.
ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ සිංහල මාධ්‍යයෙන් ඉහළම ලකුණ වන 193 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, දෙමළ මාධ්‍යයෙන් ඉහළම ලකුණ වන 188 යාපනය දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇති බවයි.මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඉන් 289,867 දෙනෙකු පරීක්ෂණය සඳහා පෙනී සිට ඇත. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 1,018 දෙනෙකු මෙවර විභාගයට මුහුණ දී ඇති අතර, ඒ අතුරින් අපේක්ෂකයින් 18 දෙනෙකු බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පිළිතුරු සපයා තිබේ.
දිස්ත්‍රික්කය, අදාළ මාධ්‍යය මෙන්ම ලබාගත් සමස්ත ලකුණු පදනම් කරගනිමින් කඩඉම් ලකුණු තීරණය කර ඇති අතර, එයට සමගාමීව ශිෂ්‍යත්ව 20,000ක් පිරිනැමීමට නියමිතය. මෙම ශිෂ්‍යත්ව සංඛ්‍යාවට විශේෂ අවශ්‍යතා සහිත සිසුන් වෙනුවෙන් වෙන්කර ඇති ශිෂ්‍යත්ව 250ක් ද ඇතුළත් වන අතර, එම කාණ්ඩයෙන් සුදුසුකම් ලබන දරුවන්ගේ ලකුණු පත්‍රිකාවල ඒ පිළිබඳ විශේෂ සටහනක් ඇතුළත් කර ඇත.
අපේක්ෂකයින්ට තම නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් www.doenets.lk සහ www.results.exams.gov.lk යන විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල පරීක්ෂා කරගැනීමටත්, ප්‍රතිඵල සටහන් බාගත කර මුද්‍රණය කරගැනීමටත් පහසුකම් සලසා තිබේ.
පාසල් විදුහල්පතිවරුන්ට onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අදාළ පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින් සිය පාසලට අදාළ ප්‍රතිඵල ලේඛන මුද්‍රණය කරගැනීමේ හැකියාව පවතී. විභාගයේ නැවත පරීක්ෂා කිරීමේ අභියාචනා ක්‍රියාවලිය අවසන් වූ පසුව, සිසුන්ට අදාළ පුද්ගලික සහතිකපත් තැපැල් මාර්ගයෙන් අදාළ පාසල් වෙත යොමු කිරීමට පියවර ගනු ඇත.