38-schools-closed-due-to-heavy-rains

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (21) දිනයේදී ප්‍රදේශ කිහිපයක පාසල් 38 ක් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ. පවතින වර්ෂාපතනය සහ ආපදා තත්ත්වයන් සලකා බලමින් අදාළ පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ සම්පූර්ණ බලය ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් වෙත පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.




අද උදෑසන 9.00 වන විට ලැබී ඇති වාර්තාවලට අනුව, වැඩිම පාසල් සංඛ්‍යාවක් වසා දමා ඇත්තේ මධ්‍යම පළාතේය. ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ආශ්‍රිතව පිහිටි පාසල් 35 ක් වසා දමා ඇති අතර, සබරගමුව, දකුණු සහ බස්නාහිර යන පළාත්වලින්ද එක් පාසල බැගින් වසා තැබීමට පියවර ගෙන ඇත.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව සාකච්ඡා කර පූර්ව මාර්ගෝපදේශවලට අනුව මෙම තීරණ ගෙන ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය. යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය, ප්‍රධාන ලේකම්වරයා මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තීරණ ගැනීමට උපදෙස් දී තිබේ. පවතින අධික වැසි සහිත කාලගුණය පහව ගියහොත් හෙට දිනයේදී එම පාසල් නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයිද බලධාරීන් අපේක්ෂා කරයි.