
ප්‍රකට ගායන ශිල්පිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ ජීවිතයේ අතිශය සංවේදී මෙන්ම ශෝකජනක මතකය ගැන ඇය හරීන්ද්‍රගේ යුටියුබ් නාලිකාව ඔස්සේ තොරතුරු බෙදාගෙන තිබේ. ඇය පවසන්නේ ඇය මෙලොවට උපත ලබන දිනයේදීම ඇගේ වැඩිමහල් සොයුරිය ජීවිතයෙන් සමුගැනීමේ සිදුවීම කම්පනයට හේතුවක් වූ බවයි.
පවුලට එක් දියණියකගේ උපත සිදුවෙද්දී, තවත් දියණියකගේ විපත සිදුවීමේ මෙම කටුක යථාර්ථය ඇගේ මුළු ජීවිතයටම බලපෑ ප්‍රබල සංවේදනයක් බවට පත්ව ඇත.දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ජූලි මස 13 වනදා උපත ලබා ඇති අතර, ඇගේ අක්කා මියගොස් ඇත්තේ ඊට පසුදින, එනම් ජූලි මස 14 වනදා උදෑසන කාලයේදීය. එකල තෙවසරක් වයසැති පසුවූ මෙම දැරිය අතිශයින්ම ලස්සන, ආදරණීය මෙන්ම සුන්දර කටහඬකට හිමිකම් කී තැනැත්තියකි. මහ ගෙදර ජනෙල් පොලු අල්ලාගෙන සිටිමින් ඇය ගීත ගායනා කරන විට, අසල වූ බස් නැවතුම්පොළේ සිටින ජනතාවට පවා එම හඬ ඇසුණු අතර, ප්‍රදේශවාසීන් අතර ඇය ගීත ගායනා කරන පුංචි දැරියක ලෙස ප්‍රසිද්ධව සිටියාය.
දීපිකාගේ උපත සඳහා මව රෝහල්ගත වීමට සූදානම් වන අවස්ථාවේදී, රෝහලට ගෙන යාමට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇතුළත් බෑගය පවා ලෑස්ති කර දී තිබෙන්නේ මෙම තුන් හැවිරිදි අක්කා විසිනි. එකල වෛද්‍ය ස්කෑන් පරීක්ෂණ නොතිබූ යුගයක, මවගෙන් "අම්මා ගේන්නේ නංගි බබෙක්ද" යනුවෙන් විමසීමට තරම් පෙරනිමිත්තක්ද ඇයට දැනී තිබිණි. කෙසේ වෙතත්, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ ඇය හදිසියේම තම පියාට පපුවේ කැක්කුමක් ඇති බව පවසා ඇති අතර, රෝහලට රැගෙන ගියද ඇය මියගොස් ඇත්තේ එකල හේතුවක් පවා සොයාගත නොහැකි වූ තත්ත්වයක් යටතේය.
තමන්ට තේරෙන වයසට පත්වූ දා සිට මෙම සිදුවීම පිළිබඳව දැඩි ලෙස කම්පනයට පත්වූ දීපිකා, තම අක්කා තමන් වෙනුවෙන් ඉඩ දී දිව්‍ය ලෝකයට ගිය බව විශ්වාස කරන්නීය. ලේඛකයෙකු වූ ඇගේ මාමා වන රිචඩ් තන්තිරිවත්ත මහතා මෙම සිදුවීම අසුරෙන් "ආදරණීය සුදු මැණිකේ" නමින් ලිපියක් ලියා තිබූ අතර, කුඩා කාලයේදී අකුරු කියවීමට හැකි වූ දින සිට එම ලිපිය කියවමින් ඇය නිවසේ මුළු තැන්වලට වී හඬා වැටී ඇත. තම උපතත් සමඟම ජීවිතයේ නිස්සාර බවත් යථාර්ථයත් වටහාගත් නිසාම, ඇය ජීවිතයේ කිසිදිනෙක උපන්දින සාද පවත්වා නැති අතර, තම ජීවිත කාලය පුරාවටම මියගිය අක්කා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට කටයුතු කරන්නීය.
