
සමනලයෙකු මෙන් සුන්දරව තිබූ මුවමඩලක් රුදුරු ලෝහ රාශියකට යටවී විකෘති වී යද්දී, කුඩා දරුවන් දෙදෙනෙකුගේත් දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේත් ලෝකය අඳුරු කරමින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජානක විජේසිංහ මහතා සදහටම නෙත් පියාගෙන තිබේ.
දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිදුවූ අතිශය දරුණු රථවාහන අනතුරකින් 38 හැවිරිදි මෙම දෙදරු පියා ජීවිතක්ෂයට පත්විය. ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට අධික වේගයෙන් පැමිණි අතිසුඛෝපභෝගී බස් රථයකට වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ මංතීරුවට පැන, විදුහල්පතිවරයා ගමන් කළ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. ඉන් නොනැවතුණු බස් රථය අසල වූ හෝටලයක් ඉදිරිපිට තිබූ තවත් මෝටර් රථයක් යටකරගෙන අවන්හලකට කඩා වැදී තිබේ. විනාඩි 45කට අධික කාලයක් දැඩි ලෙස අලාභහානි වූ රථය තුළ සිරවී සිටි විදුහල්පතිවරයා ප්‍රදේශවාසීන්ගේ දැඩි උත්සාහයෙන් මුදාගෙන දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ මහතා තහවුරු කළේය. සිද්ධියට අදාළව බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය විදුහල්පතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 20 වැනිදා දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී සිදුවූ අතර, උදෑසන ඉනාමලුව පිහිටි නිවසේ සිට රථ පෙරහරකින් දේහය පාසල වෙත රැගෙන එන ලදී. මහා සංඝරත්නය, පාසල් දරුවන්, ගුරු මණ්ඩලය මෙන්ම ප්‍රදේශවාසීන් දහස් සංඛ්‍යාත පිරිසක් අශ්‍රැ තර්පන මැද අවසන් ගෞරව දැක්වූ අතර, කුඩා දරුවන් දෙදෙනා තුරුළු කරගත් මියගිය විදුහල්පතිවරයාගේ ආදරණීය බිරිඳ වන ගුරුවරියක වූ මනෝජා නීලමණී විජේසූරිය මහත්මියගේ ශෝකාලාපය එහි සිටි කාගේත් හදවත් කම්පිත කළේය.
ස්වාමියාගේ අඩුව හමුවේ දැඩි වේදනාවෙන් අදහස් දැක්වූ ඇය මෙසේ පැවසුවාය.
"මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ දඹුල්ල ජාතික පාසලේ ගුරු සේවයේ නිරත වෙලා ඉන්න භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට නේවාසිකාගාරයක් හදලා වස් සමාදම් කරලා මහා ලොකු වස් පින්කමක් කරන්න. ඒ උදාර පින්කම කරන්න කුරිරු රියැදුරා ඉඩ දුන්නේ නැහැ."
අනතුර සිදුවූ දින සිදුවීම මතක් කරමින් ඇය සිය කඳුළු අතරින් මෙසේ ද කීවාය.
"මෙම අනතුර වෙන දවසේ අපේ මහත්තයා දඹුලු රජ මහා විහාරයේ භාරකාර නායක ස්වාමීන් වහන්සේගේ උපන් දිනය වෙනුවෙන් පවත්වන්නට යෙදුන පින්කමකට සහභාගී වුණා. ඉතාම දිලිඳු දරුවන් හොයාගෙන නායක ස්වාමින් වහන්සේ හා එම දරුවන්ට ඉගෙන ගන්න වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම තමයි සිදු කෙරුණේ. ඊට අමතරව නායක ස්වාමීන් වහන්සේ විසින් ඉදිකරන ලද අලුත් නිවහනක් නැති බැරි කෙනෙකුට පූජා කිරීමත් සිදු කරනවා කියලා තමයි මට කි වේ. හැමදාම එයා උදේට යන්නේ මොනවා හරි පින්කමකුත් එක්ක කරන්න. හැබැයි හවස් වෙලා මට කතා කරලා කිව්වා වැඩ ටික අවසන් කරලා පාසලටත් ගිහිල්ලා එනවා කියල. ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ටිකක් දරුවන්ට අරගෙන එන්න කියලත් මම කිව්ව. පසුව රාත්‍රී තමයි මේ වේදනාත්මක පණිවිඩය මට ලැබුණේ."
"මගේ පුංචි දුව එවගේම පුතාට තවම තේරෙන්නේ නැහැ. එයාලගේ පණ තිබුණේ අප්පච්චි ළඟ. එයාගේ පණ තිබුනෙත් දරුවෝ ළඟ. ඒ වගේම එයා මටත් පුදුම විදිහට ආදරේ කළා, මම ගුරුවරියක් වුණත් අවුරුදු පහක් නිවාඩු දාලා දරුවොත් එක්ක ඉන්න කියලා තමයි කිවුවේ. ඒ අනුව මම නිවසේ දරුවො බලාගෙන හිටියා."
විදුහල්පතිවරයාගේ වැඩිමල් දියණිය වන සනුලි විජේසිංහ සහ පුංචි පුතු ආදි වූ විජේසිංහ අම්මාට තුරුළු වී, මවගේ කඳුළු පිසදමද්දී අවමංගල්‍යයට එක්වූ සැමට එය දරාගත නොහැකි දුකක් විය. ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන, පාසල් සහ සමාජ සේවා වෙනුවෙන් කැපවූ මේ උදාර මිනිසාගේ අගය ප්‍රදේශවාසීන් මෙන්ම විවිධ සංවිධාන නියෝජිතයන්ද ගුණ වර්ණනා කරමින් සිහිපත් කළහ.
නොහික්මුණු රිය ධාවනය ගැන මෙන්ම සමාජ මාධ්‍ය හැසිරීම ගැනද ඇය දැඩි සංවේගයෙන් යුතුව වැදගත් ඉල්ලීමක් කළාය.
"සමාජයෙන් මම එක ඉල්ලීමක් කරනවා, නොහික්මුණු රියදුරන් පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන්න. නිරපරාදේ මේ වගේම මිනිස් ජීවිත මහ පාරේ විනාස වෙන්න මින් ඉදිරියට දෙන්න එපා, ඒ වගේම සමාජ මාධ්‍ය භාවිතා කරන කණ්ඩායම් වලින් මම ඉල්ලීමක් කරනවා. සමනලයෙක් වගේ ලස්සනට තිබුණු මගේ මහත්තයාගේ මුහුණ අනතුරෙන් පස්සේ විකෘති වෙලා තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වෙනවා. මේක පවුලේ අයට දරා ගන්න හරි අමාරුයි. මම කොහොම හරි දරා ගන්නම්, හැබැයි මේ වැඩේ තවදුරටත් කරන්න එපා කියලා මං ආදරෙන් ඉල්ලනවා ගුරුවරියක් හැටියට."
"විදුහල්පතිතුමා විදුහල්පති කෙනෙක් විතරක් නෙවෙයි පුදුම විදිහට තමන්ගේ දරුවන්ට වගේ පාසලේ දරුවන්ට ආදරය කරපු කෙනෙක්. දඹුල්ල ජාතික පාසලට රටේ තැනකට ගන්න හැම වෙලාවෙම සැලසුම් සකස් කළා ඒ වගේම අවට පාසල් වල දරුවන් වැඩි දියුණු කරන්න, පාසල් දියුණු කරන්න ගුරුවරු සහ විදුහල්පතිවරු එක්ක සාකච්ඡා කරනවා. ක්‍රීඩා තරග පවත්වනවා විවිධ උත්සව පවත්වනවා. එයා හරියටම පාසලේ නීතිය ක්‍රියාත්මක කළා. පාසලට ලස්සන බුදු පිළිමයක් තැන්පත් කළා. කොහොම වුණත් අද අපිට මේ ඇත්ත කතාවට මුහුණ දෙන්න වුණා, දුක දරා ගන්න අමාරුයි කොහොම හරි ජීවිතේට මුහුණ දෙනවා."
මහපාරේ සිදුවන නොහික්මුණු රිය ධාවනය නොමේරූ පුංචි පැළ දෙකකට අප්පච්චිගේ සෙවණ අහිමි කර ඇති අතර, විකෘති වූ ඡායාරූප අන්තර්ජාලයේ සැරිසරද්දී ඒ රුදුරු මතකය සමඟින් හුදෙකලාව ජීවිතයට මුහුණ දීමට අසරණ මවකට සිදුව ඇත.
