15 හැවිරිදි පාසල් දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 හැවිරිදි බාහිර උපකාරක පන්ති ගුරුවරයෙකු හෙට (03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වරකපොළ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් අමරසේකර මහතා නියෝග කළේය. මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ දැදිගම, නෙළුන්දෙණිය ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.
අපයෝජනයට ලක්ව ඇති දැරිය මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 15 වසරයි මාස 9ක් වයසැති ශිෂ්‍යාවකි. සැකකාර ගුරුවරයා රජයේ ගුරු සේවයේ නියුතු අයෙකු නොවන අතර, ඔහු දැදිගම ප්‍රදේශයේ විද්‍යා විෂය සඳහා උපකාරක පන්ති පවත්වාගෙන ගොස් ඇත. ඉකුත් 29 වැනිදා පෙරවරු 8 සිට 10 දක්වා පැවැති පන්තියට අදාළ ශිෂ්‍යාව පැමිණ නොසිටි අතර, පන්තිය නිමා වීමෙන් පසුව ගුරුවරයා ඇගේ නිවසේ ජංගම දුරකථනයට කිහිප වරක් ඇමතුම් ලබා දී තිබේ.
එලෙස ලබාගත් ඇමතුම් ඔස්සේ දැරිය අමතර පන්ති පවත්වන ශාලාව වෙත ගෙන්වාගෙන ඇති සැකකරු, පසුව ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. සිද්ධියෙන් පසු නිවසට පැමිණි දැරිය මේ පිළිබඳව සිය මව දැනුවත් කර ඇති අතර, වහා ක්‍රියාත්මක වූ මව ගුරුවරයාගේ නිවසට ගොස් කරුණු විමසා තිබේ. එහිදී සිදුවීම පිළිගත් සැකකාර ගුරුවරයා, මෙම සිද්ධිය කිසිවෙකුටත් නොකියන ලෙස ඉල්ලා සිටිමින් දැරියගේ මව ඉදිරියේ වැඳ සමාව ඉල්ලා ඇති බව සඳහන් වේ.
අනතුරුව මව විසින් එදින රාත්‍රියේම දැදිගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් පොලිසිය, දැදිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දම්මික පතිරාජ මහතාගේ උපදෙස් මත සැකකරුගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගත්තේය. ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක චන්ද්‍රානි සහ කාන්තා පොලිස් සැරයන් තක්ෂිලා (6554) යන නිලධාරිනියන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා දැදිගම පොලිසියේ පොලිස් සැරයන් කුමාර (72331) මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙහිදී අනාවරණය වූ විශේෂිත කරුණක් වන්නේ සැකකරුගේ එකම දියණිය සහ අපයෝජනයට ලක්වූ දැරිය එකම පාසලේ එකම ශ්‍රේණියේ පන්ති දෙකක ඉගෙනුම ලබන සිසුවියන් වීමයි.
