appeal-from-pilot-against-refusal-to-take-charmikas-dna

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබා ගැනීමට නියෝග කරන ලෙස කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පැමිණිලිකාර ගුවන් නියමුවරිය විසින් කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබේ.




රසිකා සෙව්වන්දි නමැති මෙම පැමිණිලිකාරිනිය විසින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ නඩුව පවරා ඇත්තේ සිය දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ඇතුළත් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් ලබා ගැනීමේ අරමුණිනි. දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් හටගෙන ඇති මෙම අර්බුදකාරී තත්ත්වය මත පිතෘත්වය තහවුරු කර ගැනීම සඳහා අදාළ ක්‍රීඩකයාගේ රුධිර සාම්පලයක් ලබාගෙන ඩී.එන්.ඒ. විශ්ලේෂණයක් සිදු කිරීමට නියෝග කරන ලෙස ද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත්, ඉල්ලා සිටින සහනය ලබා දීමට මෙන්ම ඩී.එන්.ඒ. පරීක්ෂණයකට රුධිර සාම්පලයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් හෝ සාධාරණ පදනමක් ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කරමින් කොළඹ දිස්ත්‍රික් විනිසුරු ලලිත් කන්නංගර මහතා පසුගිය අගෝස්තු 4 වනදා එම ඉල්ලීම සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කිරීමට පියවර ගත්තේය.




අදාළ නඩු වාරයේදී පැමිණිලිකාර රසිකා සෙව්වන්දි වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පෙනී සිටි අතර, රම්සි බාචා ඇසෝෂියේට්ස් ආයතනයේ උපදෙස් පරිදි චාමික කරුණාරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නිර්මලා ගුණතිලක යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

ඩී.එන්.ඒ. පරීක්ෂණ ඉල්ලීම ප්‍රතික්ෂේප වුවද, දිසා අධිකරණයේ පවතින මෙම නඩුවේ ඉදිරි කටයුතු සඳහා එය නැවත ලබන ඔක්තෝබර් 9 වනදා කැඳවීමට අධිකරණය නියම කර ඇත.