yakkala-police-sergeant-arrested-for-molesting-a-girl

පෙරේත දෝෂයක් සිරුරෙන් ඉවත් කරන බව පවසා 16 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර කළ බවට චෝදනා ලැබූ, යකැදුරකු ලෙස පෙනී සිටි පොලිස් සැරයන්වරයකු කොටදෙනියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, යක්කල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන සැරයන්වරයෙකි.




අදාළ පාසල් සිසුවිය ඇගේ මවගේ මිතුරියකගේ නිවෙසේ රැඳී සිටි අවස්ථාවක, යකැදුරුකම් කරන වෙද මහතකු ලෙස පෙනී සිටි මෙම සැකකරු එම නිවසට පැමිණ ඇත. එහිදී දැරිය පරීක්ෂා කර ඇයට පෙරේත දෝෂයක් පවතින බව පවසා ඇති ඔහු, එම දෝෂය දුරු කිරීමට යැයි කියමින් ඇගේ සිරුර පුරා තෙල් වර්ගයක් ආලේප කර තෙල් සාත්තුවක් සිදුකර තිබේ.

ඉන් අනතුරුව පසුගිය 9 වැනිදා මෙම දැරියගේ නිවෙසට පැමිණ ඇති සැකකාර පොලිස් සැරයන්වරයා, දැරියගේ මව නිවසින් පිටතට යවා දැරියට කිසියම් පෙති වර්ගයක් පානය කිරීමට සලස්වා ඇත. අදාළ පෙති වර්ගය පානය කිරීමෙන් පසුව සිහිය විසඥ වූ දැරියට පියවි සිහිය ලැබී ඇත්තේ ඊට පසුදින බව විමර්ශනවලදී හෙළි වී තිබේ.




මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතවරයට ලක්වූ දැරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඇගෙන් ප්‍රකාශ ලබාගනිමින් පරීක්ෂණ මෙහෙයවූ කොටදෙනියාව පොලිසිය, අදාළ අපරාධය සිදුකර ඇත්තේ යක්කල පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයකු බව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය රෝහල්ගත කිරීමටද පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් විසින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.