we-had-to-save-the-government-by-killing-people-during-the-struggle---namal

අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ප්‍රවර්ධන රැස්වීමක් අමතමින් එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, අරගලය පැවැති සමයේ හමුදාව සහ පොලීසිය යොදා ගනිමින් දහස් ගණනක් ඝාතනය කර හෝ ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ අවස්ථාව තිබූ නමුත් තමන් එසේ නොකළ බවයි. එලෙස කටයුතු කළේ නම් තමන්ද අද ජීවතුන් අතර නොසිටීමට ඉඩ තිබූ බව සඳහන් කළ ඒ මහතා, ජනතාවගේ පැත්තේ සිටගනිමින් සමාජ විපතකින් මෙරට තරුණයන් මුදා ගැනීමට අඩියක් පස්සට තැබීම නිවටකමක් ලෙස ආණ්ඩුව සහ ඊට සම්බන්ධ පිරිස් සිතන්නේ නම් එය ඔවුන්ට සිදුවූ වැරදීමක් බව පෙන්වා දුන්නේය.

(යොහාන් භාසුරගේ වාර්තාවක් ඇසුරිනි.)




බන්ධනාගාර තුළ ඇති වන නොසන්සුන්තා විපක්ෂයේ හෝ නාමල්ගේ වැඩක් ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව හඳුන්වාදීමට උත්සාහ කරන බව පැවසූ මන්ත්‍රීවරයා, තමන් දෙස බලන විට ආණ්ඩුවට තමන් බලවත් පුද්ගලයකු ලෙස පෙනෙන්නේ දැයි ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම, ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනහඬ මර්දනය කිරීම සඳහා විපක්ෂ දේශපාලන බලවේග, සිවිල් සංවිධාන, ස්වේච්ඡා සංවිධාන මෙන්ම මහා සංඝරත්නය මර්දනය කිරීමට පියවර ගනිමින් සිටින බවටද හෙතෙම චෝදනා කළේය. තමන් ජනතාවට දුන් අසීමිත පොරොන්දු දිනෙන් දින කඩ කරමින්, ජනතාව ලබාදුන් ඡන්දය අවතක්සේරු කරමින් ආණ්ඩුව ඒකාධිපති පාලනයක් දෙසට රට ගෙන යමින් සිටින බවද ඔහු කියා සිටියේය.

මෙරට ජනතාව අද වන විට දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව දිනෙන් දින බදු ප්‍රතිපත්තිය වෙනස් කරමින් තමන්ට හිතවත්, තමන් සමඟ සිටින හා තමන්ට යම් වාසියක් ලබාදෙන පිරිස් තෝරාගෙන අසීමිත බදු සහන ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. එහෙත් රටේ සාමාන්‍ය ජනතාව, වැඩකරන ජනතාව, දෛනික ආදායම් ලාභීන් සහ මාසික වේතනයට වැඩකරන ජනතාව මත අසීමිත බදු බරක් පටවමින් පාලන කටයුතු ඉදිරියට ගෙන යන බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.




ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ රාජ්‍ය ගිණුම්වල ට්‍රිලියන ගණනින් මුදල් තිබෙන බව ප්‍රකාශ කළද, ආණ්ඩුවේ වගකීම විය යුත්තේ මිලියන, බිලියන හෝ ට්‍රිලියන ගණනින් මුදල් සෙවිය හැකි ව්‍යවසායකයන් හා පුරවැසියන් බිහිකිරීම මෙන්ම තමන් ලබන ආදායමට සරිලන පරිදි වියදම් දරාගනිමින් සතුටින් ජීවත් විය හැකි ජනතාවක් නිර්මාණය කිරීම බව ඔහු පැහැදිලි කළේය. එම වගකීම පැහැර හැර ඇති ආණ්ඩුව ගිණුම්වල මුදල් තිබෙන බවට පම්පෝරි ගැසුවද, අවසානයේ හැකර්වරයකු පැන එම ට්‍රිලියන ගණනින් වූ මුදල් කොල්ලකා වැරදි ගිණුම්වලට තැන්පත් කර ඇති බව පාර්ලිමේන්තු කමිටුවලදී පිළිගෙන ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. එම පාඩුව පියවා ගැනීමට ජනතාව පිට බදු බර පටවන බවත්, ආණ්ඩුවේ වංචාව, දූෂණය, නොහැකියාව සහ අකාර්යක්ෂමතාව වෙනුවෙන් දිනෙන් දින වැඩිවන බදු බර හරහා වන්දි ගෙවීමට මහජනතාවට සිදුව ඇති බවත් ඔහු පැවසීය.