welle-saranga-arrested-in-dubai

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මෙන්ම අන්තර්ජාතික පොලිසිය ද දැඩි ලෙස සොයනු ලබන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන අලගෝරම් ජෝති රූබන් හෙවත් 'ගනේෂරූබන්' නමැත්තාගේ ප්‍රධානතම සගයා වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් ‘වැල්ලේ සාරංග’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි නුවර පිහිටි ඔහුගේ නිවස වටලා සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකරු සමඟ එහි රැඳී සිටි තවත් පුද්ගලයින් අට දෙනෙකු ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.




ලලිත් කන්නංගර හෙවත් 'බස් ලලිත්' නමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම්වල නිරත වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු මෙරට බුද්ධි සේවයේ නිලධාරීන් ලබා දුන් පූර්ව තොරතුරු පදනම් කරගනිමින් ඩුබායි පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගැනීමට හැකිවී ඇත.

විදේශගතව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන පුද්ගලයන් මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස සිදුකෙරුණු මෙම මෙහෙයුම අතරතුර, ඩුබායි හි සැඟව සිට සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටි වැල්ලේ සාරංග පිළිබඳව ඩුබායි ආරක්ෂක අංශ මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් විසින් මේ දක්වා ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නොමැති බවද සඳහන් වේ.