damith-fonseka-arrested

ප්‍රවීණ චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු සීගිරිය අභයභූමියට අයත් පෞද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තු අවසරයකින් තොරව වගා ළිඳක් කැපීම සහ ගස් කපා හෙළීමේ චෝදනා මත සීගිරිය වනජීවී නිලධාරීන් විසින් සෙනසුරාදා (29) අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු විශේෂ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.




අදාළ නීති විරෝධී කැණීම් සහ දැව හෙළීමේ කටයුතු සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, ට්‍රැක්ටරයක් මෙන්ම කපා දමන ලද දැව කඳන් තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් වනජීවී නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ අදාළ භූමිය පෞද්ගලික ඉඩමක් වන බැවින් එහි සංවර්ධන කටයුත්තක් කිරීමේදී නීතිමය අවසරයක් ලබාගත යුතු බවට තමන් දැනුවත්ව නොසිටි බවයි.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ද මහතා පෙන්වා දුන්නේ, අභයභූමි සීමාව තුළ පිහිටි පෞද්ගලික ඉඩමක වුවද යම් කැණීමක්, ගොඩනැගීමක් හෝ දැව කැපීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවයි. වනජීවී දෙපාර්තමේන්තු බලතල ප්‍රකාරව දැනට ඇප මත මුදාහැර ඇති අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 31 වැනිදා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.