ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම උදෙසා සකස් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ලංකාදීප පුවත්පත වෙත ප්‍රකාශ කර ඇත්තේ, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් එය වඩාත් කාර්යක්ෂම පද්ධතියක් බවට පත්කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළෙහි එක් සාධනීය පියවරක් ලෙස මෙම පනත් කෙටුම්පත හඳුන්වා දෙන බවයි.
පසුගියදා ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමට යෝජනා කර ඇත.මෙම යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක්, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඇතුළු ආගමික නායකයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක්ද සිය දැඩි අකමැත්ත ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් පසුගිය 12 වැනිදා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර සාකච්ඡාවක් පවත්වනු ලැබුවද, එහිදී පවතින මතභේද සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතක් ප්‍රථම කියවීමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීම සඳහා දින 14ක කාලසීමාවක් හිමිවෙයි. ඉන් අනතුරුව අදාළ පෙත්සම් විභාගයට ගෙන දින 03ත් 21ත් අතර කාලයක් ඇතුළත සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණය සතුවේ. මෙම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට අනුව, අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිම පෙත්සම් සංඛ්‍යාවක් ගොනු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විවිධ සිවිල් සංවිධාන මේ වන විටත් තීරණය කර තිබේ.
රජයේ මෙම පියවරට එරෙහිව අඛණ්ඩව අරගල කරන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසයි. අවුරුදු 65න් විශ්‍රාම යාමට නියමිතව සිටින විනිසුරුවරයකුට තවත් වසර දෙකක කාලයක් ලබාදීම පැහැදිලි ලෙසම අල්ලස් දීමක් බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරියක පවා මෙයට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව සඳහන් කළේය. තවද මෙම තීරණය සමස්ත රටේත්, අධිකරණ පද්ධතියේත් මෙන්ම ජනාධිපතිවරයාගේත් විනාශයට හේතුවන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.