two-school-students-who-were-electrocuted-are-rescued-by-watawala-police

වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්ත ප්‍රදේශයේදී ගසක දර කැපීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අධිබලැති විදුලි රැහැන් පද්ධතියකින් කාන්දු වූ විදුලි සැර වැදීමෙන් අනතුරට ලක්ව තිබේ. වටවල කුයිල්වත්ත දමිළ මහා විද්‍යාලයේ 7 සහ 8 වසරවල අධ්‍යාපනය ලබන, අවුරුදු 12-13 වයස් කාණ්ඩවල පසුවන මෙම සිසුන් දෙදෙනා සිය නිවසට ඉහළින් පිහිටි ලඳු කැලෑවක වූ වියළි දර කැපීමට ගසට නැගීමේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

ගසට ඉහළින් ඇද තිබූ අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ගසේ ගැටීම නිසා ගස දිගේ විදුලිය කාන්දු වීම මෙම අනතුරට හේතු වී තිබේ.




විදුලි සැර වැදී සිසුන් කෑගසන ශබ්දය ඇසුණු වතු කම්කරුවන් පිරිසක් ඒ අසල මාර්ග රාජකාරියේ නියැලී සිටි වටවල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොන්ස්තාපල් සංජීව (84586) නිලධාරියා වෙත ඒ බව වහා දැනුම් දී ඇත. තත්ත්වයේ බරපතලකම වටහාගත් එම නිලධාරියා වහාම වටවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා දැනුවත් කර තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා නෝටන්බ්‍රිජ් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරිවරයා සම්බන්ධ කරගනිමින් අදාළ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු යෙදීය.

විදුලිය විසන්ධි කිරීමෙන් පසුව අනතුරට ලක්ව සිටි ළමයින් දෙදෙනා වහා මුදාගෙන වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. සිද්ධියෙන් එක් සිසුවකුගේ සිරුරේ ස්ථාන කිහිපයකම පිලිස්සුම් තුවාල සිදුව ඇති අතර අනෙක් සිසුවා දැඩි කම්පන තත්ත්වයෙන් පසුවන බව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය. අනතුරෙන් පසු විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් අදාළ විදුලි රැහැන් පද්ධතියේ ගැටෙමින් තිබූ ගසේ අතු කපා දැමීමට පියවර ගෙන තිබේ.