ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සහ වැඩසටහන්වල වර්තමාන ප්‍රගතිය පුළුල් ලෙස සමාලෝචනයට ලක් කර තිබේ. මෙහිදී අනාවරණය වූ කරුණුවලට අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම් 'govPay' පද්ධතිය ඔස්සේ පමණක් සිදු කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, මෙම වසර අවසන් වීමට පෙර මෙරට පළමු ඩිජිටල් හැඳුනුම්පත ජනතාව වෙත නිකුත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වඩාත් වේගවත් හා ශක්තිමත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීපව්‍යාප්ත රාජ්‍ය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක මට්ටම දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණයි. ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ආයතන මගින් දැනට දියත් කර ඇති විවිධ ව්‍යාපෘතිවල සාර්ථකත්වය පිළිබඳව ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.