three-days-of-mourning-for-nanda-malaniya---funeral-on-saturday-22nd

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. ඇගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත එළඹෙන සෙනසුරාදා (22) දිනය ද ඊට ඇතුළත් වේ.

මෙම ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කිරීමට අදාළ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.




මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළ පරිදි, අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනියගේ දේහය හෙට (21) උදෑසන 10.00 සිට මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේදී ජනතාවට ඇයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව හිමිවේ.

සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතව ඇත. අග්‍රගණ්‍ය ගායිකාවගේ අවසන් කැමැත්තට උපරිමයෙන් ගරු කරමින්, කිසිදු නිල හෝ විශේෂ අවමංගල්‍ය උත්සව සංවිධානය කිරීමකින් තොරව සෙනසුරාදා පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර ඇති බව මහාචාර්ය සුනිල් ආරියරත්න වැඩිදුරටත් තහවුරු කළේය.