prolonged-sitting-increases-deadly-deep-vein-thrombosis-among-young-adults

දීර්ඝ වේලාවක් වාඩි වී සිටීම හෝ වැතිරී සිටීම හේතුවෙන් යෞවන යෞවනියන් ඇතුළු තරුණ පරපුර අතර පයේ ගැඹුරු ශිරා තුළ ලේ කැටි ගැසීමේ (Deep Vein Thrombosis - DVT) අවදානම ඉහළ යමින් පවතින බව වෛද්‍ය විද්‍යාත්මක වාර්තා පෙන්වා දෙයි.දීර්ඝ නිවාඩු කාලයන්හිදී හෝ වෙනත් අවස්ථාවලදී නොකඩවා එකම ඉරියව්වෙන් පසුවීම ලේ කැටි ගැසීමේ තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් වන බැවින්, මෙය වැඩිහිටියන්ට පමණක් සීමා වූ සෞඛ්‍ය ගැටලුවක් නොවන බව තහවුරු වේ.




පාදයේ ගැඹුරු ශිරා තුළ රුධිරය අසාමාන්‍ය ලෙස කැටි ගැසීමෙන් හෘදය දෙසට සිදුවන රුධිර ගමනාගමනය අඩාල වීම මෙම රෝගයේදී සිදුවේ. සාමාන්‍යයෙන් ඇවිදීමේදී කෙණ්ඩියේ පේශි සංකෝචනය වීම මගින් ශිරා රුධිරය ඉහළට තල්ලු කළද, දීර්ඝ වේලාවක් එකතැන සිටීමෙන් රුධිර ගමනාගමනයේ වේගය අඩුවී ලේ කැටි තැන්පත් වීමේ අවදානම වැඩි වේ. නොකඩවා වාඩි වී සිටීමට අමතරව මෑතකදී සිදුකළ සැළසුම්ගත හෝ හදිසි සැත්කම්, අස්ථි බිඳීම්, අවයව නිශ්චල කර තැබීම්, දීර්ඝ ගුවන් හෝ මාර්ග ගමන්, ගැබ්ගෙල සහ ප්‍රසූත කාලසීමාවන්, පිළිකා මෙන්ම ජානමය වශයෙන් ලේ කැටි ගැසීමේ වැඩි ප්‍රවණතාවක් ඇති පුද්ගලයන්ට ද මෙම තත්ත්වය වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතී.

DVT රෝග ලක්ෂණ බොහෝ විට මතුවන්නේ එක් පාදයක පමණක් වන අතර, එක් පාදයක් පමණක් ඉදිමීම, දෙපා අතර මහතෙහි පැහැදිලි වෙනසක් පැවතීම, තදබල වේදනාව හෝ බර ගතියක් දැනීම සහ රෝගී පාදයේ සම රතු වීම හෝ රස්නයක් දැනීම එහි ප්‍රධාන සංඥා වේ. මෙම ලේ කැටි රුධිර වාහිනී ඔස්සේ පෙනහැල්ල දෙසට ගමන් කිරීමෙන් පෙනහැලි ශිරා අවහිර වීමේ (Pulmonary Embolism) මාරාන්තික තත්ත්වයක් ඇතිවිය හැකි අතර, හදිසියේ හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ වේදනාව, කැස්ස සමග ලේ පිටවීම හෝ සිහිය විසඥ වීම වැනි ලක්ෂණ පහළ වූ වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුය.




පාදයේ මෙවැනි ඉදිමුමක් හෝ වේදනාවක් ඇති වූ විට එය තැවීම, සම්බාහනය කිරීම හෝ තදින් මිරිකීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු අතර, අධික ලෙස වෙහෙස වන ව්‍යායාම මගින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ නොකළ යුතුය. වෛද්‍ය උපදෙස්වලින් තොරව ඇස්පිරින් හෝ රුධිරය දියර කරන වෙනත් ඖෂධ ලබාගැනීම මෙන්ම ස්වයං පරීක්ෂණ ක්‍රම මගින් රෝගය විනිශ්චය කිරීමට යාමෙන් වැළකී, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී නිසි ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

නොකඩවා වාඩි වී සිටීමෙන් සිදුවන ලේ කැටි ගැසීම් වළක්වා ගැනීමට නම් දවස පුරා පාද චලනය කරමින් ක්‍රියාශීලීව සිටීම ප්‍රධානතම විසඳුමයි. එකතැන වාඩි වී සිටින කාලසීමාව අවම කර නිතර නැගිට ඇවිදීම, නැගිටීමට නොහැකි අවස්ථාවලදී වළලුකර සහ පාද ඉදිරියට හා පස්සට චලනය කිරීමේ ව්‍යායාමවල නිරත වීම සහ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මගින් මෙම අවදානම බෙහෙවින් අඩු කරගත හැකිය. කෙසේවෙතත්, මීට පෙර ලේ කැටි ගැසීමේ ඉතිහාසයක් ඇති හෝ සැත්කම්වලට භාජනය වූ අධි අවදානම් සහිත පුද්ගලයන් දීර්ඝ ගමන් බිමන් යාමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ. (Time ඇසුරිනි)