ඉදිරි වසර 10ක කාලය තුළ කිසිදු බාධාවකින් තොරව සියලු විදේශීය ණය වගකීම් පියවීමට ශ්‍රී ලංකාවට පූර්ණ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොළඹදී පැවැති මෙරට විදේශ තානාපතිවරුන්ගේ හමුවකදී ප්‍රකාශ කර සිටියේය. මීට පෙර මුහුණ දීමට සිදු වූ ආකාරයේ ණය ගෙවීම් පැහැර හැරීමකට හෝ නැවත ණය අර්බුදයකට රට ගොදුරු නොවන බව තහවුරු කළ හෙතෙම, සාර්ථක ලෙස නිම කරන ලද ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ඊට ප්‍රධාන හේතුව වූ බව පෙන්වා දුන්නේය.
මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් වීමත් සමඟ ඉදිරි දශකය තුළ වසරකට ගෙවිය යුතුව ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ට වඩා අඩු මට්ටමක පවතී. එම ණය වගකීම් සපිරීමට අවශ්‍ය නිල සංචිත ශක්තිමත්ව ගොඩනැගෙමින් පවතින අතර, වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 ක් වන මෙරට මහ බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය මේ වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි වසරවලදී මෙම සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 සීමාව දක්වා ඉහළ යනු ඇති අතර, සංචාරක ව්‍යාපාරයේ ආදායම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේරණ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලැබෙන මූල්‍ය සහාය ඊට ප්‍රධාන වශයෙන් දායක වෙයි.
ආර්ථික අර්බුදයට පෙර පැවැති ශක්තිමත් තත්ත්වයට රට පත්වෙමින් තිබෙන අතර, ඊට පසුබිම් වූ සාධක ලෙස මෙරට මුළු නිෂ්පාදනය මෙන්ම ඒක පුද්ගල ආදායම අර්බුදයට පෙර පැවැති මට්ටමට සාර්ථකව ළඟාවීම දැක්විය හැකිය. අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාව මේ වසරේදී සියයට 4 ත් 5 ත් අතර ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මෙම වසරේ පළමු ත්‍රෛමාසිකයේදී පමණක් සියයට 5 ක වර්ධන වේගයක් සටහන් කිරීමට සමත් විය. මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිලෙහි ඇති වූ අවිනිශ්චිතතාවයන් සහ දේශගුණික විපර්යාස පැවතියද මෙම ආර්ථික ඉලක්ක කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබීම ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව ඇත.
ඉන්ධන හා ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් උද්ධමනය තාවකාලිකව සියයට 7 දක්වා ඉහළ ගියද, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා ලබන වසරේ මුල් භාගය වන විට එය නැවතත් සියයට 5 ක තනි ඉලක්කමේ මට්ටමකට පහත බැසීමට නියමිතය. එසේම, මෙම වසරේ දෙවැනි ත්‍රෛමාසිකයේදී ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ඇති අතර, එය අඛණ්ඩව තෙවැනි වසරටත් ජංගම ගිණුම් අතිරික්තයක් සහිතව වසර අවසන් කිරීමට මඟපාදයි. 2021-2023 කාලසීමාවේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 ක්ව පැවැති රාජ්‍ය ආදායම වර්තමානය වන විට සියයට 16 දක්වා දෙගුණයකින් වර්ධනය වී තිබේ.
මීට අමතරව, මෙරට ප්‍රාථමික ගිණුම් අතිරික්තය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නියම කරන ලද සියයට 2.3 ක ඉලක්කයට වඩා වැඩි අගයක පවතී. අඛණ්ඩව වසර තුනක් තිස්සේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් පවත්වා ගැනීම, සංචාරක ආදායම හා විදේශ ප්‍රේරණ ඉහළ යාම පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම දැනට පවතින 'CCC' මට්ටමේ සිට අර්බුදයට පෙර පැවැති 'B' මට්ටම දක්වා ඉහළ නංවන ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.
