ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලියා’ නැමැත්තා 25 වන දින මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. ඔහු මෙරටට ගෙන ඒම සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 21 වන දින ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත.
ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන පවා නිකුත් කර තිබූ මෙම සැකකරු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මැදිහත්වීම මත මොහුව මෙරටට ගෙන්නා ගැනීමට කටයුතු යොදා තිබේ.මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මාස කිහිපයකට පෙර ඩුබායි පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඩුබායි පොලිසියේ රඳවාගෙන එරට නීතිමය කටයුතුවලින් පසු ඔහු මෙරටට භාරදීමට එකඟවී ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ උපදෙස් මත සැකකරු රැගෙන ඒම සඳහා එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් ඇත.
පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීම හේතුවෙන් මොහුට ‘බස් ලලියා’ යන නම පටබැඳී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කරයි. මනුෂ්‍ය ඝාතන 8 ක්, ඝාතනය කිරීමට තැත් කිරීම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ලෙස මොහු හඳුනාගෙන ඇත. ඒ අනුව 2024 වසරේදී පෞද්ගලික බස් හිමිකරුවෙකු වූ වජිර නිශාන්ත නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, 2022 සහ 2023 වසරවලදී හන්වැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ පාතාල නායක මංජු හෙවත් රොෂාන් ඇතුළු ඔහුගේ ගෝලයෙකු ඝාතනය කිරීමේ චෝදනා මොහුට එල්ල වී තිබේ.
මීට අමතරව 2025 වසරේ අගෝස්තු 12 වන දින හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු හා ව්‍යාපාරිකයෙකු වූ චින්තක කුඩලිගම මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වේ. එමෙන්ම 2025 ජූලි 6 වන දින කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී තවත් පාතාල කල්ලි නායකයෙකු වන දෙහිවල රුවන්ට සහ ඔහුගේ ගෝලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිදුවීමට ද මොහුගේ සම්බන්ධයක් පවතින බව කියැවේ.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘ධනා’ නමැත්තා ඝාතනය කර තිබුණේ ලලිත් කන්නන්ගර බව පොලිසිය පවසයි. රැකියාවක් නොමැතිව සිටියදී ලලිත් කන්නන්ගර සිය නිවසට කැඳවාගෙන බස් කොන්දොස්තරවරයකු ලෙස රැකියාව ලබාදී සිය නිවසේ තබාගත් පුද්ගලයා ද කප්පම් ලබානොදීම නිසා මොහු විසින් වෙඩි තබා ඝාතනය කළ බවට ද චෝදනා එල්ලවී ඇත.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් සිය ගෝල බාලයින් ලවා හංවැල්ල, මීගොඩ සහ කොස්ගම යන ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට මොහු කටයුතු කර ඇත. මෙම අපරාධ කල්ලියේ තර්ජන සහ බියවැද්දීම් හමුවේ අදාළ ප්‍රදේශවල ඇතැම් ධනවත් ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාරික ස්ථාන සහ නිවාස පවා අතහැර දමා වෙනත් ප්‍රදේශවල පදිංචියට ගොස් තිබූ බවද අනාවරණය වී තිබේ.
මෙම සැකකරුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඩුබායිහි සුපිරි නිවසක සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බවට වාර්තා වන අතර, මොහු සමග තවත් පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකු වන 'කොන්ඩ රංජි' සහ 'වනතේ වතු' නැමැත්තන් ද එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම බස් ලලියාගේ මෙරට සිටි ගෝලබාලයින් රැසක් ද පසුගිය කාලයේදී බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු වන 'බස් ලලියා' ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමත් සමඟ හංවැල්ල, හෝමාගම සහ කඩුවෙල යන ප්‍රදේශවල ජනතාව විශාල ලෙස සතුටට පත්ව සිටි බව 2025 ඔක්තෝබර් මාසයේදී වාර්තා විය. ප්‍රදේශවාසීන් සිය සතුට ප්‍රකාශ කරමින් සහ ආරක්ෂක අංශ ඇතුළු රජයට ස්තූතිය පළ කරමින් එම ප්‍රදේශ පුරා පෝස්ටර් පවා අලවා තිබූ බව සඳහන් වේ.
