mahacharya-arrested-for-driving-over-police-officers-foot-near-dalada-perahera

මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ විශේෂ රාජකාරි සඳහා අනුයුක්තව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ පාදයේ ඇඟිල්ලක් උඩින් මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 22 වැනිදා සවස මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.




මෙලෙස තුවාල ලබා ඇත්තේ පින්දෙනිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන, අංක 61919 දරන සැරයන් කුමාර් නැමැති නිලධාරියායි. පෙරහැර වෙනුවෙන් යොදවා තිබූ විශේෂ රාජකාරි සඳහා මහනුවර මූලස්ථාන පොලිසියට වාර්තා කර සිටි ඔහු, අනතුර සිදුවන අවස්ථාවේ මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ මාවතේ පැදෙනිය බස් නැවතුම්පොළ අසල රථවාහන හසුරුවීමේ රාජකාරියේ නිරතව සිට ඇත.

කේ.සී.සී. රථ ගාල දෙස සිට මහනුවර ඔරලෝසු කණුව දෙසට ධාවනය වූ මෝටර් රථය සැරයන්වරයාගේ පාදයේ ඇඟිල්ලක් මතින් ගමන් කිරීම නිසා මෙම තුවාල සිදුව ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි මහාචාර්යවරයෙකු වන අතර, ඔහු පදවාගෙන ආ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාර මහාචාර්යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කටයුතු යොදමින් සිටියි.