the-minimum-age-limit-for-driving-a-three-wheeler-for-hire-is-40-years

කුලී ත්‍රීරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. පාසල් අධ්‍යාපනය අවසන් කළ වහාම තරුණයන් ත්‍රීරෝද රථ රියාදුරු රැකියාවට යොමුවීම වැළැක්වීම සහ ඔවුන් රටේ සක්‍රීය නිෂ්පාදිත ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම මෙම තීරණයේ මූලික අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කිරීමට නම් ගුණාත්මක මානව සම්පතක් ගොඩනැගිය යුතු බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පද්ධතිමය වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.




මෙරට අධ්‍යාපන පද්ධතිය තුළින් වසරකට පාසල්වලට ඇතුළත් වන ලක්ෂ තුනකට ආසන්න පිරිසෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 40,000ක් වැනි සංඛ්‍යාවක් බව පෙන්වා දෙන ඒ මහතා, ඉතිරි 2,60,000ක පමණ තරුණ පිරිසට නිසි මඟපෙන්වීමක් නොමැතිකමින් ත්‍රීරෝද රථ ධාවනය වැනි ක්ෂේත්‍රවලට යොමුවීමට සිදුව ඇති බව ප්‍රකාශ කරයි. දැනටමත් මෙරට ත්‍රීරෝද රථ බලපත්‍ර මිලියන 1.1ක් පමණ නිකුත් කර ඇති අතර, අධ්‍යාපනයක්, පුහුණුවක් හෝ වෘත්තියක් නොමැති (NEET) තරුණ පිරිස ඉහළ යාම සමාජීය ගැටලු රැසකට මුල් වී තිබේ. එබැවින් මානව සම්පත සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාව දෙමින් අධ්‍යාපන මාවත නැවත සකස් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත්, කුලී ත්‍රීරෝද රථ පැදවීම අවුරුදු 40ට අඩු පිරිසට සීමා කිරීමට හෝ තහනම් කිරීමට ගෙන ඇති මෙම යෝජනාවට සමගි ජන බලවේගය සිය දැඩි විරෝධය පළ කර ඇත. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා සඳහන් කරන්නේ වර්තමානය වන විට ත්‍රීරෝද රථ ගාල්වල අවුරුදු 18 ත් 22 ත් අතර පසුවන තරුණයන් දැකිය හැක්කේ ඉතා කලාතුරකින් බවයි. වසර ගණනාවක් තිස්සේ මෙම වෘත්තියේ නිරත වන වයස අවුරුදු 35 ත් 40 ත් අතර පිරිස් බහුලව සිටින වටපිටාවක, රජය විසින් මෙවැනි සීමාවන් පැනවීමට උත්සාහ කිරීම ප්‍රායෝගික නොවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.




තරුණයෙකුට තමන් කැමති පරිදි ගොවිතැනේ නිරත වීමට හෝ ත්‍රීරෝද රථයක් ධාවනය කරමින් ජීවිකාව සරි කරගැනීමට ඇති අයිතිය සුරැකිය යුතු බව පවසන ප්‍රසාද් සිරිවර්ධන මහතා, පාලකයන් විසින් රැකියාවන් තීරණය කරන රටක් වෙනුවට පුද්ගලයන්ට ස්වකීය තීරණ ගැනීමට ඉඩදෙන වාතාවරණයක් පැවතිය යුතු බව පෙන්වා දෙයි. රටේ සැබෑ ආර්ථික හා සමාජීය අභියෝග පසෙකලා මෙවැනි යෝජනා ඉදිරිපත් කරමින් ආණ්ඩුව අනවශ්‍ය ගැටලු නිර්මාණය කිරීමට උත්සාහ කරන බවටද මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරයි.