බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට පනවා තිබූ වසර එකහමාරක සිර දඬුවමකට අදාළව, ඔහු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට බදුල්ල මහාධිකරණය නියෝග කර තිබේ.
2019 වසරේ පෙබරවාරි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනකදී බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට අයුතු ලෙස අවහිර කරමින් ඔවුන්ට පහර දී තුවාල සිදු කිරීම සහ මරණීය තර්ජනය කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි. මෙම චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් පසුගිය ජූලි මස 28 වන දින ඔහුට මෙම සිර දඬුවම නියම වූ අතර, ඇප මත නිදහස් වන විට මන්ත්‍රීවරයා දින විසිහතක කාලයක් බන්ධනාගාරගතව සිට ඇත.
බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් මෙම ඇප නියෝගය ලබා දුන් අතර, ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මන්ත්‍රීවරයා මුදා හැරීමට නියම කෙරිණි. මීට අමතරව, ඇප තැබීමෙන් පසු අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව ඔහුට විදේශගත වීම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.
මන්ත්‍රීවරයාට නියම කර ඇති සිර දඬුවම ඉවත් කර ඔහුව නිදොස් කොට නිදහස් කරන ලෙසත්, අදාළ අභියාචනය විමසා අවසන් වන තුරු ඔහුට ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා ඔහුගේ බිරිඳ වන ජයවීර මුදියන්සේලාගේ ශානිකා මහත්මිය විසින් නීතිඥ මලින්ත ජයසිංහ මහතා මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි. නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් ගොනු කර තිබූ එම පෙත්සමෙහි කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුට මෙලෙස ඇප ලබා දීමේ තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
