the-election-campaigns-of-two-powerful-politicians-of-the-opposition-are-in-basik-gane

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පසුගිය අගෝස්තු 14 වනදා මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තාගේ සියලුම බැංකු ගිණුම් පරීක්ෂා කර අදාළ වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ. ඉකුත් මාර්තු මාසයේදී ඩුබායි හිදී අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් පොලිසිය ඊයේ (19) කරුණු දැක්වූ අතර, දැනට දින 90 ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කෙරෙන ඔහුගේ ජාවාරම් ජාලය සහ අයථා මුදල් ඉපයීම් පිළිබඳ විමර්ශනය පිණිස මෙරට ප්‍රධාන දුරකථන සමාගම් තුනකට ද නියෝග නිකුත් කෙරිණි.

නාරාහේන්පිට පොලිස් බලප්‍රදේශයේදී සැකකරු ප්‍රශ්න කරන බැවින් සහ මෙම අධිකරණයෙන් සලකා බලන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ කරුණු පමණක් වන බැවින්, ඉදිරි කරුණු අංක 03 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ ද ඔවුන් ඉදිරිපත් කළ යුතු නිසි අධිකරණය පිළිබඳව පොලිසිය දැනුවත් වී නොසිටීම ගැන සිය අප්‍රසාදය පළ කළේය.




මෙම සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බව හෙළි වී තිබේ. එහිදී එක් දේශපාලනඥයෙකුට බස් රථ 50 ක් සහ තවත් විශාල මුදල් ත්‍යාගයක් පිරිනැමූ බව පවසා ඇති අතර, එසේ මුදල් ලබාගත් එක් දේශපාලනඥයෙකු කළුතර ප්‍රදේශය නියෝජනය කරන බව ද වාර්තා වේ. මෙම දේශපාලනඥයන් දෙදෙනාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගනිමින් සිටියි.

තමා සතු වත්කම් පිළිබඳ තොරතුරු අනාවරණය කරමින්, දෙහිවල සහ ගල්කිස්ස වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් පහක් තමාට අයත් බව සැකකරු පිළිගෙන ඇති අතර, පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ සෝල් බීච් (Soul Beach) හෝටලය ද ඊට ඇතුළත් වේ. මත්ද්‍රව්‍ය ජාලය හරහා ඉපයූ නීති විරෝධී මුදල් නීත්‍යනුකූල කිරීමේ අරමුණින් මෙම ආයෝජන සිදුකර ඇති අතර, වෙරළබඩ ඉඩම් හිමි දිළිඳු පුද්ගලයන්ගේ මෙන්ම වෙනත් අයගේ නම්වලින් මෙම හෝටල් පවත්වාගෙන ගොස් ඇත. ඊට අමතරව බොරලැස්ගමුව, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල අතිසුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ රැසක් ඉදිකර ඇති මොහු, රජයේ ඉඩම් පවා අනිසි ලෙස තමන් සන්තකයට ගෙන හෝටල් සහ නිවාස ඉදිකිරීම් සිදුකර ඇති බවට හෙළි වී තිබේ.




තවද, ගල්කිස්ස ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඇල්ටො ධර්මේ, බඩෝවිට අසංක සහ සැන්ඩෝ යන ප්‍රධාන පෙළේ පාතාල මැරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමාගේ සමීපතම මිතුරන් බවත්, ඔවුන් සියලු දෙනා සිය මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටින බවත් ශිරාන් බාසික් විසින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.