නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් අවුරුදු හතක කුඩා දැරියක සහ ඇගේ මව ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මීගහවත්ත පොලිස් වසමට අයත් මෙම ප්‍රදේශයේදී අගෝස්තු 19 වනදා මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇත.
බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථය හදිසියේම මාර්ගයේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී, ඉදිරියෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු, කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා වහාම උඩුපිල රෝහල වෙත ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, රෝහල්ගත කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියදුරු, එක් කාන්තාවක් සහ කුඩා දැරියක මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු මෙන්ම සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මවක සහ ඇගේ 7 හැවිරිදි දියණියයි.
මීට අමතරව, අනතුරට ලක්වූ මෝටර් රථයේ ගමන් කරමින් සිටි තවත් කුඩා දැරියක ද තුවාල ලබා ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.