sri-lankan-18-student-21-student-killed-in-japan-for-being-ashamed-of-being-a-butterfly

ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයාමා නගරයේ පිහිටි සමූහ නිවසකදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික සිසුවෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අගෝස්තු 11 වන අඟහරුවාදා උදෑසන 10:20 ට පමණ හිගාෂි-හට්සුෂි 3-චෝමේ ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති අතර, උදරයට තියුණු පිහි පහරක් ලක්වූ තරුණයා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.




මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි ජයකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු නමැති 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේම පදිංචිව සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකි. ප්‍රහාරයෙන් අනතුරුව සැකකරු විසින්ම අංක 119 ඔස්සේ හදිසි සහන සේවා වෙත දැනුම් දී ඇති අතර, ස්ථානයට පැමිණි නගරෙයාමා පොලිස් නිලධාරීන් හමුවේ තමා පිහියෙන් ඇන බව පිළිගැනීමෙන් පසුව ඔහුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ. බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ තරුණයා මියයාමත් සමඟ සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ විමර්ශන ඉදිරියට ගෙන යාමට පොලිසිය පියවර ගෙන ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර 18 හැවිරිදි තරුණයා සඳහන් කර ඇත්තේ, මියගිය තරුණයා විසින් තමාට සමලිංගිකයෙකු යැයි පවසමින් අපහාස කිරීම, මවට බැන වැදීම සහ තමාට පහරදීම හේතුවෙන් ඇතිවූ කෝපය මත මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. මෙම පූර්ව ආරවුල රැකියා ස්ථානයකදී සිදුවන්නට ඇති බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අතර, දෙදෙනා අතර පැවැති සබඳතාව, පෙර පැවැති මතභේද සහ සිද්ධියට මුල් වූ සැබෑ තත්ත්වය පිළිබඳව චිබා ප්‍රාන්ත පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.




ජපානයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් අතර එකම නිවාස බෙදාහදා ගනිමින් ජීවත්වීම සාමාන්‍ය සිරිතක් වන අතර, මෙලෙස එකට පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ මෙම සිදුවීම පිළිබඳව NHK සහ සංකේයි නිව්ස් ඇතුළු ජපන් මාධ්‍ය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ද තොරතුරු වාර්තා කර ඇත.