shiran-basik-questioned-by-the-american-fbi

ඩුබායි පොලිසිය මගින් ඉකුත් මැයි 26 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ජංගම දුරකතනයේ තිබී ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානාවල ඡායාරූප රැසක් හමුවීම මෙලෙස ඇමෙරිකානු බුද්ධි අංශවල විශේෂ අවධානයට ලක්වීමට හේතු වී ඇත.




ශිරාන් බාසික් ඉරානයේ ආරක්ෂක හෝ හමුදා අංශ සමග කිසියම් සබඳතාවක් පවත්වාගෙන ගියේද යන්න පිළිබඳව ඇමෙරිකානු බලධාරීන්ගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත්, සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ඉරානය සමග පවත්වා ඇත්තේ දේශපාලනික හෝ ආරක්ෂක සබඳතාවක් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට පමණක් සීමා වූ සබඳතාවක් බවයි. එම කරුණ තහවුරු වීමෙන් අනතුරුව එක්සත් ජනපද බලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම අතහැර දමා ඇත.

මේ අතර, ශ්‍රී ලංකා බලධාරීන් විසින් ශිරාන් බාසික්ගේ නීති විරෝධී වත්කම් සහ අනෙකුත් ජාවාරම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. එහිදී අනාවරණය වී ඇති පරිදි, ඔහු සතුව නිවාස දෙකක්, බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ජංගම දුරකතන අලෙවිසල් දෙකක් සහ කොළඹ මැරීන් ඩ්‍රයිව් හි පිහිටි හෝටල් පහක් ඇතුළු තවත් වත්කම් රැසක් පවතී.




එමෙන්ම බාසික්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සමග ජාවාරම්වල නිරත වූ බව කියන උපකාරක පන්ති ගුරුවරයකු පිළිබඳව ද තොරතුරු හෙළිදරව් වී ඇත. අදාළ උපකාරක පන්ති ගුරුවරයා සිය බිරිඳ ද සමග මේ වන විට තායිලන්තයට පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙරට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් 93 දෙනෙකු සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම 2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ විදේශයන්හි රැඳී සිටි පාතාල හා මත්ද්‍රව්‍ය අපරාධකරුවන් 40 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.