අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ පුහුණු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියකට ඇගේ නිල නිවාසය තුළදී බරපතළ ලෙස ලිංගික හිංසනය සහ දූෂණය කිරීම සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළෙකුට එරෙහිව පවතින නඩුවේ සාක්ෂි විමසීම අනුරාධපුර මහාධිකරණය හමුවේ ආරම්භ විය. උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, වින්දිත වෛද්‍යවරිය පළමු වරට අධිකරණය හමුවේ පෙනී සිටිමින් පැය එකහමාරකට අධික කාලයක් සිය සාක්ෂිය ලබා දුන්නා ය.
මෙම සංවේදී සාක්ෂි විමසීම ආරම්භ කිරීමට පෙර, නඩු කටයුත්තට අදාළ නොවන සියලුම පාර්ශ්වයන් විවෘත අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා පියවර ගත්තේ ය. නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර, විත්තිකාර හිටපු සෙබළා වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි සහ නීතිඥ ගයාන් සිරිවර්ධන යන මහත්වරු පෙනී සිටියහ. තවද, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාගේ උපදෙස් පරිදි නීතිඥවරුන් වන කූජන බානගොඩ, මදාරා විජේසිංහ, ජනිත් මහසෙන් සහ සුභාෂිණී වීරක්කොඩි යන මහත්ම මහත්මීන් වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව අධිකරණයට දැනුම් දෙන ලදී.
2025 මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයකදී සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්නෑව නව නගරයේ පදිංචි කේ.බී. මධුරංග රත්නායක නමැති හිටපු හමුදා සෙබළාට එරෙහිව සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 සහ 364(1) වගන්ති යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත. සාමාන්‍යයෙන් පහළ මහේස්ත්‍රාත් අධිකරණයක පැවැත්වෙන ලඝු නොවන මූලික විභාගයකින් තොරව, 2026 මැයි මස 22 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු මහතා විසින් ඍජුවම මෙම නඩුව මහාධිකරණය හමුවේ පවරා තිබීම විශේෂත්වයකි. මීට අමතරව, සිද්ධියෙන් පසු වෛද්‍යවරිය සතු වූ ස්මාර්ට් ජංගම දුරකථනය සොරකම් කිරීමේ වෙනම චෝදනාවකට විත්තිකරු මීට පෙර වරද පිළිගැනීම නිසා ඔහුට මාස හයක සිර දඬුවමක් ද නියම වී තිබිණි.
මෙම නඩුව සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි නිශානි සෙනෙවිරත්න සහ උප පොලිස් පරීක්ෂක සී. දයානන්ද ඇතුළු 42 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ. එමෙන්ම අපරාධයට යොදාගත් පිහිය, ඇඳුම්, ඇඳ ඇතිරිලි, රුධිර හා කෙස් සාම්පල, ජංගම දුරකථනය මෙන්ම රජයේ රස පරීක්ෂක වාර්තා සහ ජීන්ටෙක් ආයතනයේ DNA වාර්තා ඇතුළු නඩු භාණ්ඩ රැසක් සාක්ෂි ලෙස ලැයිස්තුගත කර ඇත.
අදාළ ජංගම දුරකථනයට අදාළ රස පරීක්ෂක වාර්තාව සහ දුරකථන ඇමතුම් විශ්ලේෂණ වාර්තාව ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස අදාළ ආයතන වෙත නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 19 වන දින දක්වා කල් තැබීය. එදිනට වැඩිදුර සාක්ෂි ලබා දීම සඳහා වින්දිත වෛද්‍යවරියට සහ නඩුවේ දෙවන සාක්ෂිකරු වන ඇගේ පියාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කෙරිණි.
