buildings-including-houses-and-hotels-are-flooded

හැටන් ප්‍රදේශයේ සිට කාසල්රී ජලාශයට ජලය ගලා බසින දික්ඔය පිටාර ගැලීම හේතුවෙන් එම ඇළ දෙපස පිහිටි නිවාස රැසක් අද (03) ජලයෙන් යටවී තිබේ. මීට පෙර 2013 වසරේද මෙවැනිම ආකාරයෙන් දික්ඔය පිටාර ගැලීමෙන් ආපදා තත්ත්වයක් හටගත් බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන්, නැවත වතාවක් මෙලෙස තම නිවාස ජලයෙන් යටවීම සම්බන්ධයෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති.




දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 24 පුරා තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඒ අනුව අද (03) පූර්වභාග 11.30 සිට හෙට (04) පූර්වභාග 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර් 100 ට වැඩි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. ගතවූ පැය 24 තුළ දිවයිනේ ඉහළම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එහිදී කැනියන් ප්‍රදේශයට මිලිමීටර් 191.0 ක වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබේ. ඊට අමතරව ලක්ෂපාන ප්‍රදේශයට මිලිමීටර් 187.0 ක්, නෝටන් ප්‍රදේශයට මිලිමීටර් 186.0 ක්, කාසල්රී ප්‍රදේශයට මිලිමීටර් 159.0 ක්, කොත්මලේට මිලිමීටර් 133.2 ක් සහ දික්ඔයට මිලිමීටර් 127.0 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද (03) අලුයම සිට වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, ඒ සමගම කැලණි ගඟේ ජල මට්ටම ද යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. 2026.08.01 දින පූර්වභාග 7.30 ට කැලණි ගඟ ද්‍රෝණිය වෙනුවෙන් නිකුත් කරන ලද අංක 01 ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර, ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ගෙන් දැඩි විමසිලිමත්බවක් ඉල්ලා සිටියි.




මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ද ජලයෙන් යටවී ඇති අතර, පහත් බිම්වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි. පවතින අයහපත් කාලගුණය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කරන උපදෙස් පිළිබඳ සලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා අවධාරණය කරයි. නායයෑමේ අවදානම් කලාපවලින් ඉවත්වීමේ නිවේදනවලට අනුකූලව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු ක්‍රියාත්මක වන අතර, යම් හදිසි ආපදාවකදී පැය 24 පුරා ක්‍රියාත්මක 117 දුරකථන අංකය ඇමතීමෙන් සහය ලබාගත හැකිය.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ නිසා නැවත දැනුම්දෙන තුරු එකී මුහුදු තීරයන්හි ධීවර හා නාවික කටයුතුවලින් බැහැර වන ලෙස ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.