
කොළඹ පිහිටි ඇමති බංගලා නවයක් තානාපති කාර්යාල පවත්වාගෙන යාම සඳහා වෙන් කිරීමේ කටයුතු මේ වන විට අවසාන අදියරට ළඟා වී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කරයි. විදේශීය තානාපති කාර්යාල නවයක් විසින් සැලකිය යුතු කාලයක සිට මෙම නිල නිවාස ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පියවරට අමතරව, වෙළෙඳ හා වාණිජ කටයුතු වෙනුවෙන් තවත් ඇමති බංගලා හයක් වෙන් කිරීමට පියවර ගනිමින් සිටින අතර, අධිකරණ පිහිටුවීමේ අවශ්‍යතාවන්ට අනුකූලව තවත් නිල නිවාස ප්‍රමාණයක් ලබා දීමේ හැකියාව පවතී. ඇමතිවරුන්ගේ පෞද්ගලික පාවිච්චිය සඳහා කිසිදු බංගලාවක් ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇති අතර, මෙම දේපළ භාවිතයෙන් ආදායම් උපයා ගැනීම සහ ආර්ථිකමය වශයෙන් ඵලදායී ව්‍යාපෘති සඳහා ඒවා යොදවා ගැනීම රජයේ ප්‍රධාන අරමුණයි.
මේ වන විටත් අමාත්‍ය නිල නිවාස තුනක විශේෂ අධිකරණ ස්ථාපිත කර ඇති අතර, තවත් බංගලාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු සඳහා ලබා දී තිබේ. කොළඹ නගරය පුරා ඇමති බංගලා තිහක් පිහිටා ඇති අතර, වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පාවිච්චියට නොගෙන වසා දමා තිබීම නිසා එම පරිශ්‍රයන් වල් බිහි වෙමින් පැවැති බව ද අනාවරණය වේ.
