new-us-ambassador-eric-meyer-arrives-in-sri-lanka

ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා ලෙස පත්කර සිටින එරික් මයර් මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා දිවයිනට පැමිණ තිබේ. ඔහු අගෝස්තු 22 වන දින සන්ධ්‍යා භාගයේදී කොළඹට ළඟා වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය තහවුරු කරයි.

මයර් මහතා මෙරට 29 වැනි එක්සත් ජනපද තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.




මෙරට තානාපති ධුරයට පත්වීම පිළිබඳව සිය උද්‍යෝගය පළකර ඇති එරික් මයර් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කිරීමට ලැබීම තමන්ට හිමිවූ මහත් ගෞරවයක් බවයි. දෙරට අතර පවතින ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පදනම තවදුරටත් තහවුරු කරමින්, ඇමරිකානු ව්‍යාපාරික ක්ෂේත්‍රයට නව අවස්ථා උදාකිරීමටත්, පොදු ආරක්ෂක අරමුණු සාක්ෂාත් කරගැනීමටත් තමන් අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය. එමෙන්ම දෙරටේම ජනතාවගේ ආර්ථික සෞභාග්‍යය ඉහළ නැංවෙන අයුරින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයාම සිය ප්‍රධාන අරමුණක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එරික් මයර් මහතා නෝර්වේ රාජ්‍යයේ එක්සත් ජනපද දූත මණ්ඩලයේ වැඩබලන තානාපතිවරයා ලෙස සේවය කර ඇත. ඊට අමතරව, ඔහු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙසද වගකීම් උසුලා තිබේ.

news-2026-08-24-205406