the-semen-on-the-rug-is-confirmed-to-be-that-of-venerable-pallegama-thero

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පවතින බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික හිංසනයක් සිදුකිරීමේ සිදුවීමට අදාළව, නිට්ටඹුව පොලිසිය භාරයට ගෙන තිබූ පාපිස්සේ සැකකාර හිමියන්ගේ ශුක්‍රාණු තැවරී තිබූ බව රජයේ රසපරීක්ෂක වාර්තාව මගින් තහවුරු කර ඇත. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කෙරුණු B 22424/2026 නඩු අංකය දරන මෙම රසපරීක්ෂක නිල වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත ද යොමු කර තිබේ.




එම වාර්තාවට අනුව අදාළ පාපිස්සේ දෙපැත්තේම සැකකාර හේමරතන හිමියන්ගේ ශුක්‍රාණු පැවති බව තහවුරු වී ඇති අතර, එහි කිසිදු රුධිර පැල්ලමක් හඳුනාගෙන නොමැත. තවද, අපරාධය සිදු වූ ස්ථානයෙන් සොයාගෙන රසපරීක්ෂකවරයා වෙත යොමු කළ දිගු හිසකෙස් කොටස අදාළ වින්දිත දැරියගේ නොව වෙනත් කාන්තාවකට අයත් එකක් බව ද එම වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය වේ.

වින්දිත දැරිය විසින් නිට්ටඹුව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තමා ආවාස ගෙය තුළදී බරපතළ ලිංගික හිංසනයට ලක් වූ බවත්, එහිදී සැකකාර හිමියන් බිම වැටුණු ශුක්‍රාණු පිසදැමීම සඳහා ඇඳ පාමුල තිබූ පාපිස්ස භාවිත කළ බවත්ය. පසුව එම දැරිය විසින් සිද්ධිය වූ ස්ථානය, ආවාස ගෙයි කුටිය, ඇඳ සහ පාපිස්ස පොලිස් නිලධාරීන් වෙත පෙන්වා දී තිබේ. ගම්පහ දිසා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විනීසියා ප්‍රේමරත්න සහ පොලිස් පරීක්ෂක වසුන්දරා ගුණරත්න ඇතුළු පොලිස් කණ්ඩායමක් අනුරාධපුර පොලිසියේ ද සහාය ඇතිව මෙම විමර්ශන මෙහෙයවා ඇත.




දැනට මෙම නඩුවේ සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අධිකරණය මගින් පනවන ලද දැඩි ඇප කොන්දේසි මත පසුවන අතර, උන්වහන්සේට පනවා ඇති විදෙස් ගමන් තහනම ද තවදුරටත් බලපැවැත්වේ. නීතිපති උපදෙස් ලැබෙන තෙක් අනුරාධපුර මහේස්ත්‍රාත් පසිඳු වික්‍රමරත්න මහතා විසින් මෙම නඩුව 2027 ජනවාරි 08 වන දින දක්වා කල් තබන ලදී.