new-payments-to-solar-panel-subscribers-announced

එල්නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතරම, ජල මූලාශ්‍ර සිඳී යාමෙන් ජලවිදුලි උත්පාදනය පහළ වැටීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේ නව ගාස්තු ප්‍රකාශයට පත් කරමින් පැවැති මාධ්‍ය හමුවකදී එම කොමිසමේ අධ්‍යක්ෂ කේ.

පී. එල්. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, මෙවැනි පාරිසරික අභියෝගයක් හමුවේ ඉදිරියේදී විදුලි කප්පාදුවකට පවා යාමට සිදු විය හැකි බවයි.




එම විදුලි හිඟය සහ බලශක්ති අර්බුදය මඟහරවා ගැනීම සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉහළ මිලදී ගැනීමේ ගාස්තු හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ලබන වසරේ මාර්තු මස වන විට සූර්ය බලශක්තිය සහ බැටරි ගබඩා පද්ධති හරහා අවම වශයෙන් මෙගාවොට් 450ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කර ගැනීම බලධාරීන්ගේ ඉලක්කයයි. හෙට දින සිට ක්‍රියාත්මක වන මෙම සංශෝධිත ගාස්තු ක්‍රමය 2027 පෙබරවාරි 24 වන දා දක්වා වලංගු වන අතර, එය පුනර්ජනනීය බලශක්ති බලාගාර, වහල මත සවිකරන සූර්ය පැනල හිමියන් සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති සහිත ව්‍යාපෘති සඳහා අදාළ වේ.

2027 වසරේ මුල් කාර්තුවේදී ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති විදුලි ධාරිතා හිඟය වළක්වා ගනිමින් අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කිරීමට අවශ්‍ය අතිරේක ධාරිතාව වහාම සපයා ගන්නා ලෙස ජාතික පද්ධති මෙහෙයුම්කරු වෙත උපදෙස් දී ඇත. නව ගාස්තු රාමුව යටතේ බැටරි ගබඩා පහසුකම් සහිත වහල මත සවිකරන සූර්ය බල පද්ධති සඳහා ප්‍රමුඛතා කාල සීමාව තුළ සැලකිය යුතු ඉහළ ගෙවීමක් හිමිවනු ඇත. ඒ අනුව කිලෝවොට් 250 සිට 1,000 දක්වා වූ පද්ධති සඳහා මුල් වසර 15 සඳහා ඒකකයකට රුපියල් 45.53 ක්ද, කිලෝවොට් 1,000 ට වැඩි පද්ධති සඳහා ප්‍රමුඛතා කාලසීමාවේදී ඒකකයකට රුපියල් 42.49 ක්ද ගෙවීමට නියමිතය.




මීට අමතරව භූමියේ සවිකරන සහ ජල මතුපිට පාවෙන බැටරි ගබඩා සහිත සූර්ය බල ව්‍යාපෘති සඳහාද වෙනම ආකර්ශනීය ගාස්තු හඳුන්වා දී ඇත්තේ සංවර්ධකයන් උනන්දු කරවීම සඳහාය. එමෙන්ම, දැනට පද්ධතියට ලබාදී ඇති මෙගාවොට් 160 ක බැටරි ගබඩා ධාරිතාව වෙනුවෙන් සාමාන්‍ය මාසික පිරිවැය කිලෝවොට් පැයකට රුපියල් 20 නොඉක්මවිය යුතු බවට කොමිසම සීමාවක් පනවා තිබේ. යම් හෙයකින් එම පිරිවැය රුපියල් 20 සීමාව ඉක්මවන්නේ නම්, එම අතිරේක පිරිවැය පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවට එකතු කිරීමට අවසර හිමි නොවේ.

බැටරි ගබඩා පහසුකම් නොමැති නව වහල මත සවිකරන සූර්ය පැනල සඳහා කිලෝවොට් 10 දක්වා වූ පද්ධතිවලට ඒකකයකට රුපියල් 23.11 සිට, කිලෝවොට් 250 ට වැඩි පද්ධති සඳහා රුපියල් 15.81 දක්වා වූ ගාස්තු පරාසයක් නියම කර ඇත. මෙම සංශෝධිත ගාස්තු ව්‍යූහයට කුඩා ජල විදුලි, සුළං, ජෛව ජනය, නාගරික කැලිකසල, අපතේ යන තාපය ප්‍රතිජනනය සහ පාවෙන සූර්ය බල ව්‍යාපෘතිද ඇතුළත් වේ. මහජන අදහස් විමසීමෙන් සහ පාර්ශවකරුවන්ගේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 29 වගන්තිය යටතේ මෙම ගාස්තු සූත්‍රය අනුමත කර ඇති අතර, ඉහළ ඉල්ලුමක් පවතින කාලසීමාවන්හිදී භාවිතයට ගත හැකි පරිදි පුනර්ජනනීය බලශක්තිය ගබඩා කර තබා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.