2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව එළඹෙන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය. නීතිපතිවරයා විසින් චෝදනා 23,270 ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ විත්තිවාචක ඉදිරිපත් කිරීම සහ විත්තියේ සාක්ෂි විභාග කිරීම අවසන් වීමෙන් පසුව මෙලෙස තීන්දුව සඳහා දින නියම කෙරිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය දිනපතා පැවැත්විණි. නඩුවේ පැමිණිලි පාර්ශ්වය විසින් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකුගේ සාක්ෂි විමසා අවසන් කිරීමෙන් පසුව, ඉකුත් 17 වැනිදා පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම නිල වශයෙන් අවසන් කරන ලදී.
ඉන් අනතුරුව ආරම්භ වූ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් පිරිසක් විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශ ඉදිරිපත් කළ අතර තවත් පිරිසක් තමන් වෙනුවෙන් සාක්ෂිකරුවන් අධිකරණය හමුවට කැඳවූහ. එම විත්තියේ සාක්ෂි විමසීමේ කටයුතු අද පස්වරු 6.00 ට පමණ අවසන් වූ අතර, ඉදිරිපත් කිරීමට ඇති නීතිඥ දේශනා පවතින්නේ නම් ඒවා සැප්තැම්බර් මස 09 වැනිදාට පෙර අධිකරණයට භාරදෙන ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේම නීතිඥවරුන්ට නියෝග කළේය.
මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ 2019 වසරේදී කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙනි. එකී ප්‍රහාරවලින් පුද්ගලයන් 493 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් 568 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු බරපතල චෝදනා රැසක් විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී තිබේ.
මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ හරින්ප්‍රියා ජයසුන්දර සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුදර්ශන ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළුව අධිනීතිඥවරුන් වන සජිත් බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි සහ අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
