boralesgamuwa-police-constable-interdicted-for-polygamy

නීත්‍යානුකූල බිරිඳ සිටියදී වෙනත් තරුණියක් සමඟ බහු විවාහයක් සිදු කරගත් බවට චෝදනා ලැබ සිටින බොරලැස්ගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ පසුගිය 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.




අදාළ නිලධාරියා 2022 වසරේ පෙබරවාරි මාසයේදී බණ්ඩාරවෙල විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේදී පළමු විවාහය සිදු කරගෙන ඇති බව පොලිසිය පවසයි. පසුව ඔහු 2024 වසරේදී බොකුන්දර, පිනිති විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේදී තවත් තරුණියක සමඟ මෙලෙස දෙවන වරටත් විවාහ වී තිබේ.

බණ්ඩාරවෙලදී විවාහ වූ පළමු බිරිඳ විසින් ගල්කිස්ස කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත. එම විමර්ශනවලදී සැකකාර කොස්තාපල්වරයා 2024 වසරේදී වෙනත් තරුණියක ද විවාහ කරගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.




ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් අදාළ පොලිස් කොස්තාපල්වරයා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි. බස්නාහිර දකුණු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ථ විජේසේකර මහතාගේ උපදෙස් පරිදි, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.