johnston-reverses-order-acquitting-fernando-sathosa

2010 වසරේ සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩුවක් කළ බවට එල්ල වූ දූෂණ චෝදනාවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ලබා දී තිබූ නියෝගය අභියාචනාධිකරණය විසින් බලරහිත කර තිබේ. ඒ අනුව අදාළ නඩුව කිසිදු ප්‍රමාදයකින් තොරව නැවත විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියෝග කරන ලදී.




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, තොටවත්ත, පී. කුමාරරත්නම්, දමිත් සරත් දිසානායක, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අන්නලිංගම් ප්‍රේමශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. විත්තිය මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් 2023 වසරේ මැයි මස 19 වන දින කොළඹ මහාධිකරණය විසින් අල්ලස් කොමිසම ගොනුකළ අධිචෝදනා පත්‍රය ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී පෙන්වා දුන්නේය.

අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ මහාධිකරණය වෙත යොමු කිරීමටද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වේ. 2010 වර්ෂයේදී වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව මෙසේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.




මෙම පෙත්සම් විභාගයේදී අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුශා සම්බන්ධප්පෙරුම මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.