trinitarian-mahanayake-theros-have-no-objection-to-judicial-amendments---minister-nalinda

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම නුසුදුසු බව පවසමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලදැයි කියන ලිපිය පිළිබඳව තමන් දැනුවත් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.




අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවරුන් මුණගැසී 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කළ බවයි. එහිදී අධිකරණවල ගොඩගැසී ඇති නඩු කටයුතු කාර්යක්ෂමව අවසන් කර ජනතාවට සහනයක් සැලසීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ බව උන්වහන්සේලා වෙත පෙන්වා දුන් අතර, එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවද පැහැදිලි කර සිටියේය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය එක් විනිසුරුවරයකු පමණක් ඉලක්ක කරගනිමින් සිදුකරන්නක්ද යන්න පිළිබඳව මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් කරුණු විමසා සිටි බව අමාත්‍යවරයා පැවසීය. එහිදී මෙය කිසිසේත්ම තනි පුද්ගලයකු ඉලක්ක කරගත් සංශෝධනයක් නොවන බවත්, සියලුම අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට කටයුතු කරන බවත් රජය වෙනුවෙන් පැහැදිලි කර දී ඇත. ඒ අනුව, 22 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් උපරිමාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ යන අතර, අධිකරණ සේවා පනත සංශෝධනය කිරීම හරහා දිසා අධිකරණ ඇතුළු සියලු අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර ගන්නා බව පෙන්වා දී තිබේ.




පැයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවලදී, මල්වතු මහානායක හිමියන්ද තමන් වසර 20ක පමණ කාලයක සිට නඩු කටයුත්තකට මුහුණ දෙමින් සිටින බව අමාත්‍යවරයා හමුවේ සඳහන් කර ඇත. සාමාන්‍ය ජනතාවට වසර 12 සිට 20 දක්වා වූ දීර්ඝ කාලයක් නඩුවලට මුහුණ දීමට සිදුව තිබෙන බැවින්, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා සිදුකරන සංශෝධනයන් පිළිබඳව කාගේවත් විරෝධයක් නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඊයේ දින කැබිනට් මණ්ඩල රැස්වීම පැවැති බැවින් අමරපුර නිකායේ මහානායක හිමියන් හමුවීමට අවස්ථාව නොලැබුණු බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.