නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. මෙම නඩුවේ චෝදනා ලබා සිටින අනෙක් පිරිස වන්නේ කදිරගාමතම්බි ජෙයකීෂන් හෙවත් ජෙයන්ථන්, නිමල් දෙව්සුකන් හෙවත් ජෙයකාන්තන් සහ නඩරාජා නගුලේන්ද්‍රන් හෙවත් සිම්බු හෝ නගුලන් නැමැත්තන්ය.
මෙරට අධ්‍යාපන හා ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ දැඩි කැළඹීමක් ඇති කළ මෙම අමානුෂික සිදුවීම වාර්තා වූයේ 2006 වසරේ දෙසැම්බර් 16 වනදාත් 18 වනදාත් අතර කාලසීමාවේදීය. දීර්ඝ කාලයක් පුරා සිදුකළ විමර්ශනවලින් අනතුරුව අදාළ අධිචෝදනා ගොනුකර ඇති අතර, උසස් බුද්ධිමතෙකු මෙන්ම විශ්වවිද්‍යාල පරිපාලකයෙකු වූ මහාචාර්ය රවීන්ද්‍රනාත් මහතා ඉලක්ක කරගනිමින් සිදුකළ මෙම ඝාතනය සමස්ත ශාස්ත්‍රීය ප්‍රජාවගේම ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතුවීමට එකල හේතු විය.
දේශපාලන හා ආරක්ෂක අංශ තුළ බලපෑම් සහගත ලෙස කටයුතු කළ පිරිසකට එරෙහිව මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හරහා, දේශපාලනික හේතූන් මත යටපත් වී තිබූ බරපතල අපරාධ සම්බන්ධයෙන් නීතිය හමුවේ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ සහ දණ්ඩමුක්තිය අවසන් කිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් වේ. වසර ගණනාවක් පුරා ඇදී ගිය මෙම අපරාධ නඩුව මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම තුළින් රජයේ සහ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හා විනිවිදභාවය මනාව පිළිඹිබු වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
ඉදිරියේදී පොළොන්නරුව මහාධිකරණය හමුවේ පැවැත්වෙන මෙම විභාගය හරහා වින්දිත පාර්ශ්වයන්ට සැබෑ සාධාරණයක් ඉටුවනු ඇතැයි සිවිල් සමාජය සහ මහජනතාව අපේක්ෂා කරති. එමෙන්ම මෙවැනි අතීත අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාතීව නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවට වූ ප්‍රබල පණිවිඩයක් ද මෙම නීතිමය ක්‍රියාදාමය ඔස්සේ සමාජගත වෙයි.