a-warning-to-kite-flyers-during-the-school-holidays

පාසල් නිවාඩු සමය සහ පවතින වියළි කාලගුණයත් සමඟ කුඩා දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය වී තිබුණ ද, නොසැලකිලිමත් ලෙස සරුංගල් යැවීම නිසා සිදුවන අනතුරු ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි. එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව දෙමාපියන් සහ වැඩිහිටියන් සතු වගකීම සහ අවධානය වහා යොමු විය යුතු බවයි.




උස් බිම් හෝ ස්ථාන මත සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී සිදුවන ඇදවැටීම් මෙන්ම, සමූහ වශයෙන් සරුංගල් යැවීමේදී ඇතිවන ගැටීම් නිසා දරුවන්ට බරපතළ තුවාල සිදුවීමේ සහ ජීවිත අවදානම් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් පවතී. විශේෂයෙන්ම අධිබලැති විදුලි රැහැන් පවතින ස්ථාන ආසන්නයේ සරුංගල් යැවීම ඉතා භයානක වන අතර, සරුංගල් නූල විදුලි රැහැනක ගැටීමෙන් ක්ෂණිකව විදුලි ධාරාව ශරීරගත වී මාරාන්තික අනතුරු සිදුවිය හැකිය.

එවැනි විදුලි සැර වැදීම්වල ප්‍රතිඵලයක් ලෙස දරුවන්ගේ අත්, බාහු සහ පපු ප්‍රදේශවල පටක, රුධිර වාහිනී මෙන්ම ස්නායුවලට ද දැඩි ලෙස හානි සිදු වේ. ඇතැම් අවස්ථාවලදී මෙලෙස හානියට පත්වන ශරීර කොටස් ශල්‍යකර්ම මඟින් ඉවත් කිරීමට පවා සිදුවන බව වෛද්‍යවරයා අවධාරණය කරයි. එම නිසා දරුවන්ගේ විනෝදය මෙන්ම ජීවිත ආරක්ෂාව කෙරෙහි ද මුලිකත්වය දෙමින්, විදුලි රැහැන් ආසන්නයේ සරුංගල් යැවීමෙන් දරුවන් වළක්වා ගැනීමට වැඩිහිටියන් වගකීමෙන් කටයුතු කළ යුතුය.