ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ප්‍රබල පිතිකරු හෂාන් තිලකරත්න මහතා පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන අදාළ පත්වීම ලබන වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.
වසර 1989 සිට 2003 දක්වා කාලය තුළ ජාතික කණ්ඩායම නියෝජනය කළ හෂාන් තිලකරත්න, ටෙස්ට් තරග 83කට සහ එක්දින තරග 200කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ලකුණු 8,200ක් රැස් කරගෙන තිබේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය ද හෙබවූ හෙතෙම, 1996 වසරේදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන සාමාජිකයෙකි.
මීට පෙර ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය ද හොබවමින් පුහුණුකරුවකු ලෙස සැලකිය යුතු අත්දැකීම් ප්‍රමාණයක් ලබාගෙන ඇත.