ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නැටායි ජාතික වනෝද්‍යානයේ අතුරුදහන්ව සිටි 18 හැවිරිදි ලිලී හූපර් නැමැති අත්දැකීම් සහිත කඳු නගින්නියගේ සිරුර දින අටක සෙවුම් මෙහෙයුමකින් පසුව සොයාගෙන තිබේ. සිඩ්නි නගරයට නිරිත දෙසින් පිහිටි සදර්න් හයිලෑන්ඩ්ස් ලඳුකැලෑ ප්‍රදේශයේ තිබී සොයාගත් ඇගේ සිරුර මේ වන විට ගුවන් මගින් ඉවත් කරගෙන ඇති අතර, ඇගේ අනන්‍යතාව නිල වශයෙන් තහවුරු කර ගැනීමට සහ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට ඉදිරි දිනවලදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
පුද්ගලයින් දහසකගේ පමණ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම සෙවුම් මෙහෙයුම අතරතුර, ඇය ජීවතුන් අතර සිටින බවට පැතිර ගිය සන්නිවේදන දෝෂයක් හේතුවෙන් විශාල ආන්දෝලනයක් ඇති විය. ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු අනුකාරක සභා රැස්වීමකදී මුලින් ප්‍රකාශ කර තිබුණේ, අතුරුදහන් වී දින අටකට පසු ලිලී වතුර බෝතල භාගයක් ද සමඟ ජීවතුන් අතර සිටියදී සොයාගත් බවයි. කෙසේ වෙතත්, එම ප්‍රකාශයෙන් මිනිත්තු තිහක් ඇතුළත තම ප්‍රකාශය නිවැරදි කළ අග්‍රාමාත්‍යවරයා, ඇය මියගොස් සිටියදී සොයාගත් බව තහවුරු කළේය.
මෙම අත්වැරැද්ද පිළිබඳව පොලිස් බලධාරීන් මේ වන විට පරීක්ෂණයක් පවත්වන අතර, සිදුවූ නොමඟ යැවීම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් සහ පොලිස් කොමසාරිස් මාල් ලැන්යන් යන මහත්වරුන් ලිලීගේ පවුලේ සාමාජිකයන්ගෙන් නිල වශයෙන් සමාව අයැද සිටියහ.