පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවසන රාජගිරිය, නාවල ශ්‍රී සද්ධර්මරාජික රජමහා විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු සිය නිල ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. අද (20) පස්වරුවේ සිදුව ඇති මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියෙහි පසුවූ පොලිස් නිලධාරියෙකි.
අදාළ නිලධාරියා සිය රාජකාරී ගිනි අවිය භාවිත කරමින් මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, ඔහු පසුගිය දින කිහිපය පුරාම යම් රෝගී තත්ත්වයකින් පසුවී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රාජගිරිය පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු වැලිකඩ පොලිසිය මගින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.