bribery-commission-announces-why-ravi-was-arrested

හිටපු මුදල් අමාත්‍ය සන්ද්‍රේස් රවීන්ද්‍ර කරුණානායක මහතා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2026 අගෝස්තු 31 වන දින පස්වරු 1.40 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ. 1994 අංක 20 දරන පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70 වගන්තියට අදාළ වන දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම පියවර ගෙන ඇත.




මෙම චෝදනාව එල්ල වී ඇත්තේ ඔහු 2015 ජනවාරි 12 වන දින සිට 2017 මැයි 22 දක්වා කාලය තුළ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ සිදුවීමකට අදාළවය. එම කාලසීමාවේදී මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් බව සඳහන් කරමින්, ජාතික ලොතරැයි මණ්ඩලයේ එවකට සිටි සභාපති ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සමඟ එක්ව පුද්ගලයින් තිදෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කටයුතු කර තිබේ.

සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස මෙලෙස බඳවා ගත් පුද්ගලයින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබා දී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එලෙස සේවයක් ලබා නොගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල්වලින් ඔවුන් වෙත වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කිරීම තුළින් මෙම දූෂණය සිදුකර ඇති බවට චෝදනා නැගී ඇත.




මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද හිටපු මුදල් අමාත්‍යවරයා ඉදිරියේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

news-2026-08-31-104801