yoshita-and-daisy-achchis-case-gets-delayed-again-for-a-month

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන මහත්ම මහත්මීන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (31) නියෝග කළේය. මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.




එහිදී කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම නඩුවට අදාළ යම් කරුණක් සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති බවයි. අදාළ අභියාචනය එළඹෙන සැප්තැම්බර් මස 04 වනදා සලකා බැලීමට නියමිතව ඇති බැවින්, එම දිනයෙන් පසුව එළඹෙන දිනයක මෙම නඩුකරය කැඳවන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත කැඳවීම සඳහා සැප්තැම්බර් 28 වනදා නියම කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩුව මගින් චෝදනා කර ඇත්තේ අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් විත්තිකරුවන් විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවයි.