ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක, උපදේශකවරියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය වයස අවුරුදු 46ක්ව සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ රාත්‍රියේ පැවැති රූ රැජින තරගාවලියකින් අනතුරුව සිදු වූ මෙම වියෝව පිළිබඳව පූර්ණ විමර්ශනයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන අතර, ඇයගේ හදිසි අභාවයට හේතුව හෘදයාබාධයක් බවට ද ආරංචි මාර්ග ඔස්සේ සැක පළ කෙරේ.
පොලිස් මූලික විමර්ශනවලට අනුව, බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැති උත්සවයකින් පසු ඇය අලුයම් කාලයේදී පිළියන්දල, වෑවල, ගංගාරාම පාරේ පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසකට පැමිණ ඇත. පසුව එම නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටි ඇයව අවදි කිරීමට අදාළ ව්‍යාපාරිකයා උත්සාහ කර ඇති අතර, කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා පරීක්ෂා කිරීමේදී කොට්ටය මත ලේ තැවරී තිබෙනු දැක තිබේ. අනතුරුව 1990 සුව සැරිය ගිලන් රථ සේවය කැඳවා පරීක්ෂා කිරීමේදී ඇය මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, ඒ පිළිබඳව පිළියන්දල පොලීසිය වෙත දැනුම් දී ඇත.
දශක දෙකකට වැඩි කාලයක් මෙරට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් දිනා සිටි චූලා පද්මේන්ද්‍ර මහත්මිය, අභාවප්‍රාප්ත වීමට පෙර දින රාත්‍රියේ කොළඹ වෝටර්ස් එජ් හිදී පැවැති 'Universal Woman Sri Lanka 2026' තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගී වී තිබේ. ඇය එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරිය මෙන්ම ප්‍රධාන පුහුණු උපදේශිකාව ලෙස ද කටයුතු කළාය. 'Chulpadmendra Catwalk Studio' හරහා නවකයන් රැසක් ක්ෂේත්‍රයට දායාද කළ ඇය, හිටපු ලෝක විවාහක රූ රැජිනක වන කැරොලින් ජූරිගේ ද පෞද්ගලික පුහුණුකාරිනියක ලෙස කටයුතු කර තිබේ.
ජාත්‍යන්තර තලයේ ද සිය නාමය සටහන් කළ ඇය, 2006 වසරේ ටැන්සානියාවේ පැවැති 'Miss Tourism Model of the World' තරගාවලියේදී මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. නිරූපණයට හා උපදේශනයට අමතරව රංගනයට ද පිවිසි ඇය, 'Sweet Angel' (2011), 'ගින්දරී 2' (අසනි වැසි) සහ 'ස්වර' (2023) ඇතුළු චිත්‍රපට මෙන්ම ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය ලබා දුන්නාය.
විවාහයෙන් අනතුරුව සිය පවුලට සහ දරුවාට ප්‍රමුඛතාව දෙමින් කෙටි කාලයක් ක්ෂේත්‍රයෙන් බැහැරව සිට නැවත පැමිණි ඇය, අසාධාරණයට එරෙහිව සහ තමන් විශ්වාස කළ මතය වෙනුවෙන් සෘජුව පෙනී සිටි පෞරුෂයකින් හෙබි තැනැත්තියකි. 2021 වසරේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජින තරගාවලියේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැරොලින් ජූරි සමඟින් ඇයට එරෙහිව ද නඩුවක් පවරා තිබූ අතර, ඊට අදාළ තීන්දුව එළඹෙන ඔක්තෝබර් 17 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
