අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතට ඉදිරිපත් කිරීමට නියමිත නව සංශෝධනවලට අනුව, සිද්ධියට අදාළව තමන් දන්නා සියලු කරුණු සම්පූර්ණයෙන් සහ සත්‍ය ලෙස හෙළිදරව් කරන්නේ නම්, අල්ලස් චෝදනාවලට ලක්ව සිටින අනුබලදෙන්නෙකුට එරෙහිව නඩු පැවරීමෙන් හෝ චෝදනා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමේ බලතල කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත හිමිවේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සඳහා වන මෙම සංශෝධන ගැසට් පත්‍රය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයක් මත ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇතැම් වගන්තිවල නීතිමය බලපෑමට අදාළ වෙනස්කම් ද ඊට ඇතුළත් වේ.
යෝජිත ප්‍රධාන වගන්ති අතරින් පනතේ 67 වගන්තිය සංශෝධනය කිරීමට නියමිත අතර, එමගින් මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ ගොනුකර ඇති නඩු ද ඉල්ලා අස්කර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකියාව ලැබෙනු ඇත.
දූෂණය හේතුවෙන් උපයාගත් හෝ වෙනත් ස්වරූපයකට පරිවර්තනය කරන ලද යම් දේපළක වටිනාකම ලබාගැනීමටත්, යම් පුද්ගලයෙකු දූෂිත ක්‍රියාවක් මගින් ලබාගෙන ඇති කිසියම් ප්‍රදානයක්, පත්වීමක්, ප්‍රතිලාභයක් හෝ වාසියක් වරදකරු වන දිනයේ සිට නීති විරෝධී බවට පත් කිරීමටත් තවත් සංශෝධනයක් මගින් යෝජනා කර තිබේ.
මීට අමතරව, පළාත් රාජ්‍ය සේවයේ හෝ පොලිස් බලකායේ නිලධාරීන් සහ සේවකයන් තාවකාලිකව හෝ ස්ථිර ලෙස කොමිෂන් සභාවේ තනතුරු සඳහා පත්කර ගැනීමට ද මෙම නව සංශෝධනය මගින් අවස්ථාව සැලසේ.