ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට කිලෝමීටර් 120 ක් පමණ දකුණින් පිහිටි කියාමා නමැති වෙරළාශ්‍රිත නගරයේ මහජන පුස්තකාලයකින් වසර 150 කට පමණ පෙර ලබාගත් දුර්ලභ ග්‍රන්ථයක්, නැවතත් එම පුස්තකාලයටම භාරදීමට ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු කටයුතු කර තිබේ. "ඇතෑන්ස්හි පුරා වස්තූන්" (Antiquities of Athens) නමැති ග්‍රීක වාස්තු විද්‍යාව පිළිබඳ මෙම පැරණි ග්‍රන්ථය 1870 දශකයේ මැද භාගයේදී පුස්තකාලයෙන් බැහැරට ගෙනගොස් ඇති අතර, එය දශක ගණනාවක් තිස්සේ නිවසක වසා දමා තිබූ ලිපක් (fireplace) පිටුපස පෙට්ටියක සුරක්ෂිතව සඟවා තිබී ඇත.
මෙම ග්‍රන්ථය එකල ලබාගන්නට ඇත්තේ ලන්ඩනයේ පාර්ලිමේන්තු මන්දිරය ඉදිකිරීමට දායක වූ ජෝන් සිමන්ස් නමැති ආධුනික ගල් වඩුවෙකු සහ පසුව ඕස්ට්‍රේලියාවේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු විසිනි. 1857 දී එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු, කියාමා හි වැලිගල් පල්ලියක් ඉදිකිරීමෙන් පසුව එම ප්‍රදේශයේ පදිංචි වී තිබේ. ඔහුගේ මුණුපුරා වන 77 හැවිරිදි රෝස් සිමන්ස් පවසන්නේ, සිය මුතුන්මිත්තාගේ වාස්තු විද්‍යාත්මක අධ්‍යයන කටයුතු සඳහා මෙම පොත ආශ්‍රිත ග්‍රන්ථයක් ලෙස භාවිත කරන්නට ඇති බවයි.
වසර 30 කට පමණ පෙර සිදුකළ නිවාස ප්‍රතිසංස්කරණයකදී මෙම පොත ඇතුළු පවුලේ පැරණි ලේඛන අඩංගු තේ පෙට්ටිය සොයාගෙන ඇති අතර, එය වැඩිදුර පරීක්ෂාව සඳහා රෝස් සිමන්ස් වෙත භාරදී ඇත. මෑතකදී ඔහු මෙම පොතේ පිටු පෙරළා බලද්දී දෙවන පිටුවේ "කියාමා පුස්තකාලය" යන නිල මුද්‍රාව තිබෙනු දැක තිබේ. එකල පැවැති පුස්තකාල නීතිරීතිවලට අනුව එක් අයෙකුට ලබාගත හැකිව තිබුණේ එක් පොතක් පමණක් වන අතර, බීමතින් පැමිණෙන අයට පොත් ලබාදීම තහනම් කර තිබුණි. එමෙන්ම නියමිත දිනට පොත ආපසු නොදුන්නහොත් සතියකට පැන්ස තුනක දඩයක් අයකරන බවද එහි දක්වා තිබුණි.
වර්තමාන උද්ධමනය සහ කාලය ගණනය කරමින් පුස්තකාල කාර්ය මණ්ඩලය සටහන් කර ඇත්තේ එම දඩ මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් 28,000 ක් (ඇමරිකානු ඩොලර් 20,000 ක් පමණ) වන බවයි. කෙසේ වෙතත් සිමන්ස් පවුල වෙත එම දඩ මුදල අය කිරීමෙන් නිදහස් කිරීමට පුස්තකාලය කටයුතු කර තිබේ. රෙදි කවරයකින් යුත් මෙම ග්‍රන්ථයට සුළු වශයෙන් ජලයෙන් හානි සිදුවී තිබුණද, සමස්තයක් ලෙස එය තවමත් ඉතා යහපත් මට්ටමේ පවතී.
1872 දී පවුම් 200 ක රජයේ ප්‍රදානයකින් ආරම්භ කරන ලද කියාමා පුස්තකාලයේ මුල්ම පොත් 1,000 අතරින් 506 වන අංකය හිමිව ඇත්තේ 1858 දී ප්‍රකාශයට පත්කරන ලද මෙම ග්‍රන්ථයටයි. එහි ග්‍රීසියේ පුරාණ ස්මාරකවල නිවැරදි මිනුම් සහිත විශාල රූප සටහන් අඩංගු වන අතර, මෙම දුර්ලභ ග්‍රන්ථය නැවත කිසිදිනෙක බැහැරට නිකුත් නොකරන විශේෂ එකතුවට එකතු කිරීමට පුස්තකාල කළමනාකාරිනී මිෂෙල් හඩ්සන් ඇතුළු බලධාරීන් පියවර ගෙන ඇත.