
වසර 30ක් පැරණි රජයේ වැටුප් ගෙවීමේ පද්ධතිය (GPS) වෙනුවට නවීන තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් ටෙන්ඩර් කැඳවා තිබේ. වත්මන් පද්ධතිය තාක්ෂණික වශයෙන් යල් පැන ගොස් ඇති අතර, නූතන මෙහෙයුම් අවශ්‍යතා සපිරීමට හෝ විකාශනය වන තොරතුරු ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වීමට එය තවදුරටත් අපොහොසත් වීම මෙයට හේතුවයි.
මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව (DSA) මඟින් "රාජ්‍ය සංවිධාන සඳහා වැටුප් පද්ධතියක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම" යන නමින් මෙම ටෙන්ඩර් නිවේදනය නිකුත් කර ඇත.1996 වසරේදී හඳුන්වා දෙන ලද දැනට පවතින රාජ්‍ය වැටුප් පද්ධතිය, රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂ වැය ශීර්ෂ ඒකක, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ තෝරාගත් ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු විශාල රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් විසින් භාවිතා කරනු ලබයි. කෙසේ වෙතත්, එහි පවතින යල් පැනගිය තාක්ෂණික ව්‍යුහය හේතුවෙන් වැඩිදුර යාවත්කාලීන කිරීම් සිදු කිරීමට නොහැකි වී ඇති අතර, එහි ඇති දුර්වල ආරක්ෂණ ක්‍රමවේද නිසා වංචා-දූෂණ සහ දත්ත වෙනස් කිරීමේ අවදානම්වලට ලක්වීමේ හැකියාවක් පවතී. මෙය රජයේ මුල්‍ය කටයුතුවල විශ්වාසනීයත්වයට මෙන්ම කාර්යක්ෂමතාවයට ද දැඩි බලපෑමක් එල්ල කරයි.
මීට අමතරව, ඒකාබද්ධ මානව සම්පත් සහ වැටුප් කළමනාකරණ වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමට තරම් නම්‍යශීලී බවක් හෝ වර්ධනය වීමේ හැකියාවක් වත්මන් පද්ධතිය සතු නොවන බැවින්, රාජ්‍ය ආයතනවල ඵලදායිතාවයට සහ කාර්යක්ෂමතාවයට බාධා එල්ල වී ඇත. ගෝලීය හොඳම පුරුදු සහ නැඟී එන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ප්‍රවණතාවලට අනුකූලව, ආරක්ෂිත මෙන්ම තාක්ෂණික වශයෙන් දියුණු ඒකාබද්ධ වැටුප් පද්ධතියකට මාරුවීම හදිසි අවශ්‍යතාවයක් බව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ටෙන්ඩර් නියමයන්ට අනුව, නව පද්ධතිය ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි, මහා භාණ්ඩාගාරය, රාජ්‍ය පරිපාලන සහ අයවැය චක්‍රලේඛ වැනි රාජ්‍ය අංශයේ ප්‍රතිපත්තිවලට තදින්ම අනුකූල විය යුතුය. එමෙන්ම එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම දත්ත ඇතුළත් කිරීමට, මෘදුකාංගය භාවිතා කිරීමට සහ නිල සටහන් තැබීමට හැකි බහුභාෂා පද්ධතියක් විය යුතුය. මුල්‍ය වගවීම ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම සඳහා බහු-සාධක සහතික කිරීම් (multifactor authentication), බාගත කරන ලේඛන සඳහා සක්‍රිය ආරක්ෂක දිය සලකුණු (dynamic security watermarks) ඇතුළත් කිරීම සහ සියලු ගනුදෙනු සටහන් වන ආරක්ෂිත පරීක්ෂණ සටහන් (audit trails) පවත්වාගෙන යාම අනිවාර්ය වේ. මීට අමතරව, ව්‍යාජ හෝ හොල්මන් සේවකයන් ("ghost" employees) හඳුනා ගැනීම සඳහා කෘතිම බුද්ධි (AI) තාක්ෂණය ද මෙම නව පද්ධතියට ඇතුළත් වේ.
අන්තර්ජාල සබඳතා බිඳවැටෙන අවස්ථාවලදී පවා රාජ්‍ය සේවකයන්ට වේලාවට වැටුප් ලබා දීම තහවුරු කිරීම සඳහා, නොබැඳි (offline) ලෙස ක්‍රියාත්මක කළ හැකි අතිරේක මෙවලමක් ද මෙයට ඇතුළත් විය යුතුය. එමඟින් ප්‍රාදේශීය වැටුප් කාර්යාලවලට මූලික එක්සෙල් (Excel) පත්‍රිකාවක් මඟින් මූලික වැටුප් තොරතුරු යාවත්කාලීන කර වලංගු බැංකු හුවමාරු ගොනුවක් සකස් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
