
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත් සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් පැමිණීමට නියමිතව ඇති හමුවක් මුල්කරගනිමින් පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් හටගෙන තිබේ. අගෝස්තු 20 වන දින පස්වරු 12.00 සිට 1.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනාටම සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කළ අතර, එකී දැනුවත් කිරීම සිදුකෙරෙන්නේ තමන් කළ ඉල්ලීමකට අනුව බව අගෝස්තු 19 වන දින ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෙසේ වෙතත්, අදාළ හමුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පටිපාටිගත දෝෂයක් (Procedural Error) පවතින බව සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. මෙවැනි හමුවක් කැඳවීමට විපක්ෂ නායකවරයාට කිසිදු බලයක් නොමැති බවත්, ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ පක්ෂ නායකයින් විසින් බවත් ප්‍රකාශ කළ සභානායකවරයා, මෙම හමුව වාර්තා කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත ද සිය දෝෂාරෝපණය එල්ල කළේය.
එම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡාව පිළිබඳව තමන් පසුගිය ජූලි 31 වන දිනම කථානායක ජගත් වික්‍රමරත්න මහතා දැනුවත් කළ බවයි. තවද, එම හමුව සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ද තමන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.