8-lakh-textbooks-distributed-by-education-are-missing

නැගෙනහිර පළාතේ පාසල් දරුවන් උදෙසා බෙදාහැරීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් නියමිත ස්ථාන වෙත භාර නොදී සාපරාධී විශ්වාසය කඩකිරීමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඉසුරුපාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.




දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන පළමු ශ්‍රේණියේ සිසුන්ගේ තෙවන වාරයට අදාළ මෙම පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් 19,892 ක් නැගෙනහිර පළාතේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12 ක් වෙත ලබාදීමට නියමිතව තිබිණි. එලෙස භාර නොදීම සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (නිෂ්පාදන හා බෙදාහැරීමේ) එන්. ඩබ්ලිව්. ඩී. නිරෝයි ගුණවර්ධන මහත්මිය විසින් පොලිසිය හමුවේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අදාළ පොත් තොගය ඉසුරුපාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිට ප්‍රවාහනය කිරීම සඳහා බියගම, සියඹලාපේ, සමෘද්ධි මාවතේ පිහිටි ටස්මා ඉන්ටර්නැෂනල් ආයතනය සමග ගිවිසුම්ගතව තිබූ අතර, ඉකුත් මැයි මස 04 වැනිදා ලොරි රථයකින් සහ එහි රියැදුරු භාරයේ මෙම පොත් රැගෙන යාමට අවසර ලබාදී තිබිණි.




කෙසේ වෙතත්, අදාළ මධ්‍යස්ථාන වෙත එම පෙළපොත් ලැබී නොමැති බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයේ නැගෙනහිර පළාත් භාර නිලධාරී ජගත් වන්නිහාරච්චි මහතා විසින් ඉකුත් 07 වැනිදා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත. ඒ අනුව පැමිණිල්ල ලියාපදිංචි කර ඇති අතර, තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.