කොළඹ වරායට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී වෙළඳ නෞකාවකින් ගිලිහී ගිය හිස් බහාලුම් 17 ක් මුහුදේ පාවෙමින් පවතින බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ උතුරු අක්ෂාංශ 06 54’ සහ නැගෙනහිර දේශාංශ 079 32’ ලෙස සටහන් වන සමුද්‍රීය කලාපයේදී බව එම දෙපාර්තමේන්තුව පවසයි.
පවතින මුහුදු දියවැල් රටාව සැලකිල්ලට ගැනීමේදී, මෙම පාවෙන හිස් බහාලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා විහිදෙන වෙරළ තීරය දෙසට ගොඩබිම දෙසට පාවී ඒමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.
මේ හේතුවෙන් අදාළ මුහුදු කලාපයේ නාවික කටයුතුවල සහ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලුම බහුදින හා කුඩා ධීවර යාත්‍රාවලට මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සහ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස උපදෙස් දී තිබේ.
යම් හෙයකින් මෙම පාවෙන බහාලුම් කිසිවක් නිරීක්ෂණය වුවහොත්, ඒ පිළිබඳ තොරතුරු වහාම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානය වෙත හෝ ළඟම පිහිටි ධීවර වරාය නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.