
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ළමාවංශ මහතා විසින් විශ්වවිද්‍යාලයට අයත් වාහනයක් සිය පෞද්ගලික කටයුත්තක් උදෙසා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රාජ්‍ය දේපළ නීති විරෝධී ලෙස යොදාගැනීමේ මෙම සිදුවීමට අදාළ තොරතුරු රැසක් මේ වන විට හෙළිදරව් වී ඇත.
සිද්ධියට අදාළව 2023 ජනවාරි මස 11 වන දින රාත්‍රී කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය සේවා අංශයට අයත් CP NP 3264 දරන අළු පැහැති ටොයොටා KDH වර්ගයේ වෑන් රථය මෙලෙස ධාවනය කරවා තිබේ. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට ආරම්භ වූ මෙම ගමන කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ කඩවත දක්වා ගොස්, එතැන් සිට අධිවේගී මාර්ගය භාවිත කරමින් හක්මන දෙනගම ග්‍රාමය දක්වා කිලෝමීටර් 265කට අධික දුරක් ගමන් කර ඇත. පසුව එම මාර්ගයෙන්ම ආපසු පැමිණ ඇති අතර, මුළු ගමන සඳහා කිලෝමීටර් 600කට ආසන්න දුරක් වැය වී තිබේ.
දීර්ඝ දුරක් මෙන්ම රාත්‍රී කාලය පුරා ධාවනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙම ගමන සඳහා කාංචන සහ ඒකනායක යන රියදුරන් දෙදෙනා යොදවා ඇත. ඔවුන් සඳහා වන අතිකාල දීමනා, අධිවේගී මාර්ග ගාස්තු මෙන්ම ගමනට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන පිරිවැයද පියවා ඇත්තේ විශ්වවිද්‍යාල අරමුදල්වලිනි. මෙම ගමන සඳහා වන වගකීම දැරීමට අදාළ ධාවන සටහන් පතට විනයාරක්ෂක නිලධාරී මහේෂ් අබේවික්‍රම නැමැත්තා අත්සන් තබා තිබේ.
කෙසේවෙතත්, අදාළ හක්මන දෙනගම ප්‍රදේශයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ විනයාරක්ෂක අංශයට අයත් කිසිදු නිල රාජකාරී කටයුත්තක් පැවැතී නොමැත. එවකට උපකුලපතිවරයාව සිටි මහාචාර්ය ළමාවංශ මහතාගේ මෑණියන්ගේ මෘත දේහය පේරාදෙණියේ සිට හක්මන දෙනගම දක්වා ගෙන ගිය අවමංගල රථයට පසුපසින් ගමන් කරන රථයක් ලෙස මෙම විශ්වවිද්‍යාල වෑන් රථය යොදාගෙන ඇති අතර, එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික කටයුත්තක් උදෙසා රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් බව තහවුරු වී ඇත.