ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ මෙරටට ගෙන ඒමෙන් අනතුරුව පැය 72ක රැඳවුම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. මෙම විමර්ශන හමුවේ සැකකරු විසින් සිදුකරන ලදැයි සැකකෙරෙන මිනිස් ඝාතන රැසක තොරතුරු සහ රහස් මේ වන විට විමර්ශන නිලධාරීන් හමුවේ අනාවරණය වී ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුමකින් 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා සහ ඩුබායි පොලිස් කණ්ඩායම් එක්ව මොහුව අත්අඩංගුවට ගන්නා ලදී. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, මධ්‍යම අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකෙරිණි. තම අත්අඩංගුවට ගැනීමට එරෙහිව සැකකරු ඩුබායි අධිකරණයට ඉදිරිපත් කළ ඇපෑල නිෂ්ප්‍රභ වීමෙන් පසු ඔහුව මෙරටට පිටුවහල් කිරීමට පියවර ගැනිණි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ, රාජ්‍ය බුද්ධි සේවයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් සැකකරු භාරගත්හ. 24 වැනිදා රාත්‍රියේ ඩුබායි ගුවන්තොටුපොළේදී විශේෂ ආරක්ෂාවක් යටතේ භාරදුන් ‘බස් ලලිත්’, 25 වැනිදා අලුයම 5:00 ට පමණ ශ්‍රීලංකන් ගුවන් යානයකින් දිවයිනට රැගෙන එන ලදී. එහිදී පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ඔහුගෙන් මූලික ප්‍රශ්න කිරීම් සිදුකර ඇත. එමෙන්ම ඇල්ටෝ ධර්මේ, වනාතේ චතූ සහ කොණ්ඩ රංජි යන සැකකරුවන් ද තමන් භාරයේ පසුවන බවත්, ඔවුන්ව ද ඉදිරියේදී කඩිනමින් මෙරටට පිටුවහල් කරන බවත් ඩුබායි බලධාරීන් අනාවරණය කර තිබේ.
අවස්ථා පහකදී පුද්ගලයන් හයදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන බස් ලලිත්ගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අපරාධ රැසක තොරතුරු හෙළිවී තිබේ. කප්පම් ලබා නොදීම හේතුවෙන් 2022 දෙසැම්බර් 18 වැනිදා ‘බූරු මූණා’ නැමැති වෙඩික්කරු ලවා ව්‍යාපාරිකයෙකු ඝාතනය කරවීම, තමන්ට රැකියාවක් නොමැති අවස්ථාවේ බස් කොන්දොස්තර රැකියාව ලබාදුන් වජිර නිශාන්ත නැමැත්තා කප්පම් නොදීම නිසා 2024 සැප්තැම්බර් 30 වැනිදා ඝාතනය කිරීම ඒ අතර වේ.
මීට අමතරව 2025 වසරේදී මුදුන්කොටුවගේ දොන් ශාන්ත හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනය කර ඇත්තේ ඔහු දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම නිසා බව වාර්තා වේ. බනා මන්ත්‍රී විසින් ව්‍යාපාරිකයන් පස්දෙනෙකුගේ අංක ලබාදී කප්පම් ඉල්ලීමට සැලැස්වුවද, පසුව එම අංකම ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියකට ද ලබාදීම මෙම ඝාතනයට හේතුවී ඇත. එමෙන්ම 2023 නත්තල් දින මන්නා රොෂාන් සහ ඔහුගේ සමීපතමයෙකු ඝාතනය කර ඇත්තේ අනවශ්‍ය ලෙස කතාබහ කිරීම හේතුවෙන් බවත්, තමන් නියම කළ මුදලට වඩා වැඩි කප්පම් මුදලක් එකතු කළ සිය සගයෙකු ද ඝාතනය කළ බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ.
මීගොඩ සහ පාදුක්ක ප්‍රදේශවල ක්‍රියාත්මක වූ මොහුගේ දැඩි තර්ජන හමුවේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුම ප්‍රදේශය අතහැර පලාගොස් තිබූ අතර, මෙම දරුණු අපරාධකරු මෙරටට රැගෙන ඒම සහ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් රජයට සිය ස්තුතිය පළකර ඇත.
